අගවිනිසුරු, අධිකරණ ඇමති හා නීතිඥ සංගමයේ සභාපති එකම වේදිකාවක
August 1, 2026 12:36 pm
අධිකරණ ක්රමයේ ඇති ප්‍රමාදයන් මඟහැරවීමේ අරමුණෙන් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, තවදුරටත් ෆයිල් පෙරලා පෙරළා නොසිට පහසුවෙන් ලේඛන සොයාගැනීමට හැකිබව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අද (1) කොළඹ පැවැති 2026 ICT නීති සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඔබලා දන්නවා උසාවිවල රෙකෝඩ්ස් රූම් කොහොමද තියෙන්නේ කියලා. සටහනක්, කොළයක් ගන්න ගියහම කොච්චර පරක්කු වෙනවද?. එනිසා අධිකරණයේ තියෙන පමාවල්වලට අපි ගොඩක් විසඳුම් හොයනවා මේ E-Courts පද්ධතිය හරහා.
නඩුකාරතුමන්ලා තවදුරටත් අඩි එකහමාරක් උස ෆයිල් පෙරල පෙරලා ඉන්න ඕන්නෑ. බොත්තමක් ඔබලා ලේඛන හොයාගන්න පුළුවන්.අවුරුදු සීයක් පැරණි උසාවි ඉතා වේගයෙන් වෙනස්වීම දැන් ආරම්භ කර තියෙනවා මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා" යැයි පැවසීය.
මෙම අවස්ථාවට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාද සහභාගි වූ අතර, ඔහු පවසා සිටියේ අපරාධ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ සහ අවසන් අධිකරණ වැඩි කාලයක් නොගොස් ඩිජිටල් වේදිකාව වෙත පිවිසෙනු ඇති බවය.
කෙසේ නමුත් අධිකරණ කටයුතු ඩිජිටල් වූ පමණින් ප්‍රශ්න නොවිසදෙන බවත්, සයිබර් අවකාශය ඔස්සේ නව තර්ජන මතුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන,
"සියලුම අධිකරණ දැන් ඩිජිටල්කරණය කර තිබෙනවා. අපරාධ මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ සහ අවසන් අධිකරණ, සජීවී ඩිජිටල් වේදිකාවට පිවිසෙන්න තවත් සති දෙක තුනකට වැඩි කාලයක් ගතවන එකක් නැහැ.
අපි කටයුතු කරමින් සිටියේ මුද්‍රිත පිටපත් පමණක් භාවිත කරන සාම්ප්‍රදායික අධිකරණ පද්ධතියක. අපරාධ අධිකරණයක් සැලකුවාම ඒ වෙත චූදිතයින් සහ සිරකරුවන් රැගෙන එනවා.
ඕනෑම අධිකරණයක හදවත වන්නේ එහි වාර්තා තැබීමේ කාමරයයි. වාර්තා තැබීමේ කාමරය හිස් නම්, ඒ කියන්නේ එහි කිසිම නඩුවක් නොමැති බව.
එම වාර්තාවලට යම් බලපෑමක් කළ හැකිනම්, ඒවායේ සටහන් වෙනස් කළ හැකිනම් එහිදී ඔබ අධිකරණ ක්‍රියාවලියට අනිසි බලපෑමක් කර තිබෙනවා.
අධිකරණය ප්‍රහාරයට ලක්වී වාර්තා තැබීමේ කාමරය ගිනිබත් කිරීම සැබෑ අධිකරණ මුහුණ දෙන අභියෝග. එහිදී අධිකරණවල ආරක්ෂාව කොහේද තියෙන්නේ?
එය විනිසුරුවන්, නීතිඥයින් රැඳී සිටින භෞතික ගොඩනැගිල්ලට සපයා ඇති පොලිස් ආරක්ෂාව පමණයි
එහෙත් දැන් ඩිජිටල්කරණය සමග පොලිස්පතිවරයාට, අධිකරණ ශාලාවල ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීමට හැකිවේවි.
නමුත් එයින් ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ එම වර්ධනයන් සමග නව තර්ජන පෙළකුත් මතුවනවා. ඒ තමයි සයිබර් අවකාශය ඔස්සේ මතුවන තර්ජන" යනුවෙන් පැවසීය.
මේ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාද එක්ව සිටියේය.
විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් සිය සංගමයේ සියලු දෙනා අවධානයෙන් කටයුතු කරමින් සිටි බව පැවසීය.
ඒ හැරෙන්න අමාත්‍යවරයා සමග පෞද්ගලික අමනාපකමක් නොමැති බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ රජීව් අමරසූරිය මහතා,
"විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අප සියල්ලන් සම්බන්ධ වී අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා.
ඒ සඳහා තවත් පියවරක් ලෙසින් ඉකුත් සෙනසුරාදා දිනයේ මා අධිකරණ අමාත්‍යවරයාත් හමුවුණා. එහිදී වෘත්තිමය අන්දමින් කටයුතු කිරීම පිළිබඳව මා අමාත්‍යවරයාට ස්තූතිවන්ත වනවා. ඔහු අපේ යෝජනා පිළිබඳව විෂයමූලික සහ විනිවිදභාවයෙන් යුතුව සලකා බැලීමටත්, ඒ ගැන ප්‍රතිචාර දැක්වීමටත් සහතික වුණා.
ඒ වගේම ඔහු අපේ දෙවැනි ඉල්ලීම අනුව අපට ජනාධිපතිවරයා සමග හමුවක් සංවිධානය කර දීමටත් එකඟ වුණා. අමාත්‍යවරයා සමග මා පැවැත්වූ සාකච්ඡාව ගැනත්, වෙනත් අරමුණු සහිත අය ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රහාර එල්ල කරන ආකාරය දක්නට ලැබුණා.
ඔවුන් වටහා ගත යුතුයි, මේ වගේ සංවාද සහ සාකච්ඡා වුණත් ප්‍රතිවිරුද්ධ ප්‍රහාරයක් බව. නමුත් මෙහිදී කිසිම පෞද්ගලික ගැටුමක් නැහැ. අමාත්‍යවරයා වුණත් මම හිතන්නේ දන්නවා සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි දේ සිදුවිය හැකි බව" යනුවෙන් පැවසීය.
