ඩො.බි. 5ක ඩිජිටල් අපනයන ඉලක්කය වෙනුවෙන් උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කෙරේ

ඩො.බි. 5ක ඩිජිටල් අපනයන ඉලක්කය වෙනුවෙන් උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කෙරේ

July 31, 2026   08:23 pm

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින් 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර ඇති උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම සහ ඒ පිළිබඳ කර්මාන්ත ක්ෂේත්‍රයේ එකඟතාව ගොඩනැගීම සඳහා සංවිධානය කළ “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව අද (31) පැවැත්විණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka විසින් ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි. 

වැඩමුළුවේ සමාරම්භක දේශන ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ප්‍රධාන ක්ෂේත්‍ර නිලධාරී වික්ටර් ඇන්ටනිපිල්ලෙයි මහතා විසින් සිදු කරන ලදී.

ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය යටතේ KPMG ආයතනයේ දේශීය හා ජාත්‍යන්තර උපදේශකයන් විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳ තක්සේරු වාර්තාව සහ යෝජිත උපායමාර්ගික මාර්ග සිතියම මෙහිදී ඉදිරිපත් කෙරිණි. 

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ කර්මාන්ත සංවර්ධන කමිටුවේ දායකත්වයෙන් වැඩිදියුණු කරන ලද මෙම මාර්ග සිතියම පිළිබඳ කර්මාන්ත ක්ෂේත්‍රයේ අදහස් සහ යෝජනා ලබාගැනීම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.

මානව සම්පත් හා අනාගතයට ගැළපෙන කුසලතා සංවර්ධනය, නවෝත්පාදන සහ ස්වාධීන වෘත්තිකයන් සවිබල ගැන්වීම, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය සහ අපනයන වර්ධනය මෙන්ම තිරසර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, ආයෝජන සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර කේන්ද්‍ර කරගනිමින් තේමාත්මක කණ්ඩායම් සාකච්ඡා සැසි කිහිපයක් ද මෙහිදී පැවැත්විණි.

එහිදී වාර්තාවේ නිගමන සහ යෝජනා සමාලෝචනය කිරීමට අමතරව, හඳුනාගෙන නොමැති පරතරයන්, නව යෝජනා, ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතා, ආයතනික වගකීම්, ප්‍රගතිය මැනීමේ දර්ශක සහ අදාළ පාර්ශ්වයන්ගේ ප්‍රායෝගික දායකත්වය පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය ගෝලීය වශයෙන් ස්ථානගත කිරීම, කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් කර්මාන්තයේ ව්‍යාපාරික ආකෘති සහ රැකියා භූමිකාවන්හි සිදුවන වෙනස්කම්, බුද්ධිමය දේපළ හා ඩිජිටල් නිෂ්පාදන මත පදනම් වූ ඉහළ වටිනාකමක් සහිත අපනයන වර්ධනය කිරීම සහ දේශීය නවෝත්පාදන ගෝලීය වෙළෙඳපොළට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

මෙම උපායමාර්ගික මාර්ග සිතියම මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීම, ගුණාත්මක රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා පුළුල් කිරීම, දේශීය ඩිජිටල් නිෂ්පාදන හා සේවා ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ කරවීම සහ ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ස්ථානගත කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ ක්‍රියාකාරී රාමුවක් සැපයීමට අපේක්ෂා කෙරේ.

වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් ඇතුළත් කරමින් මාර්ග සිතියම තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිත අතර, ප්‍රමුඛ ක්‍රියාමාර්ග, වගකිවයුතු ආයතන, ක්‍රියාත්මක කිරීමේ කාලරාමු සහ ප්‍රගතිය මැනීමේ දර්ශක පැහැදිලිව හඳුනාගත් ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම එහි මීළඟ පියවර වනු ඇත.