හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුවල තීන්දුව අද ප්‍රකාශයට
July 31, 2026 12:00 pm
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති නඩුවල තීන්දු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
2022දී වසරේ අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මෙම නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණි.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළහ.
විත්ති වාචික කැඳවීමකින් තොරවම ලබාදුන් එම තීන්දුව තුළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති අතර ඒ තුළ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය වගකීම් පැහැරහැර ඇති බවය.
එවැනි පසුබිමක හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ පැහැරහැරීම සම්බන්ධයෙන් චේතනාව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි සිය තීන්දුවෙන් මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නහ.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.
පසුව එහි තීන්දුව 2024 නොවැම්බර් මස 05 වන දින ලබාදුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරමින් නැවත නඩුවේ විත්තිවාචික කැඳවන ලෙස මහාධිකරණයට නියෝග කළේය.
ඒ අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තිවාචික කැඳවමින් නඩු විභාගය යළි කැඳවන ලදී.
දීර්ඝ වශයෙන් සිදුකෙරුණු එම නඩු විභාගයෙන් අනතුරුව එහි තීන්දුව අද දිනයේ ප්‍රකාශ කරන බව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.
ඒ අනුව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් සාපරාධී ලෙස වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩු තීන්දු අද දහවල් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
