හමාස් ඇතුළු ගාසා සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට එකඟතාවක්
July 31, 2026 07:14 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් විසින් නම් කර ඇති "Board of Peace" මණ්ඩලය ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි.
Truth Social ගිණුමෙහි පළ කළ සටහනකින් ට්‍රම්ප් සඳහන් කළේ, මෙය ඊශ්‍රායල–ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති "Trump 20-Point Plan" ක්‍රියාත්මක කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
ඔහුට අනුව, මෙම ගිවිසුම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අතර, නිරායුධකරණය ඉදිරියට යාමත් සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වනු ඇත.
එමෙන්ම, ජාත්‍යන්තර ස්ථාවරකරණ බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් එක්ව ගාසා ප්‍රදේශයේ ආරක්ෂාව භාර ගනු ඇත.
මෙම එකඟතාව සඳහා මැදිහත් වූ ඊජිප්තුව, කටාර් සහ තුර්කියට ද ට්‍රම්ප් සිය ස්තුතිය පළ කළේය.
"මෙම එකඟතාව ගාසා තීඑයේ නව පලස්තීන රජයක් යටතේ පාලනය වීම සඳහා වැදගත් පියවරක් වන අතර, එම රජය Board of Peace සමඟ සමීපව කටයුතු කරමින් පලස්තීන ජනතාවට සහාය වනු ඇත. ඒ සමඟම ඊශ්‍රායලයට ලැබිය යුතු ආරක්ෂාව ද තහවුරු වනු ඇත," යැයි ට්‍රම්ප් සඳහන් කළේය.
මේ අතර, කයිරෝ නුවරදී මැදිහත්කරුවන් සහ හමාස් නායකයන් අතර ඇමෙරිකානු මැදිහත්වීමෙන් යෝජනා වූ ගාසා සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබුණු බව ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, යෝජිත කොන්දේසි ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, බ්‍රහස්පතින්දා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීනුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.
