SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි
July 30, 2026 04:10 pm
ප්‍රමිතියෙන් තොර හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතිවිරෝධී බවය.
2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානය අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇත.
ඒ අනුව පසුගිය 27 වෙනිදා දිවයින පුරා විශේෂ වැටලීම් 98ක් සිදුකර ඇති අතර එහිදී SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
එමෙන්ම SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකක් ද තහනම් කර තිබේ.
2026 වසරේ මේ දක්වා වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග 151ක් සිදුකර ඇති අතර, හෙල්මට් 4,038කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් භාරයට ගැනීම, අලෙවිය නතර කිරීම ඇතුළු නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
