කොවිඩ් 19 මූලාරම්භය සම්බන්ධයෙන් යළි අවධානයට - සෙනෙට් විමර්ශනය උණුසුම් වෙයි

කොවිඩ් 19 මූලාරම්භය සම්බන්ධයෙන් යළි අවධානයට - සෙනෙට් විමර්ශනය උණුසුම් වෙයි

July 30, 2026   02:14 pm

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කළ බවට චෝදනා කරමින්, අමෙරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව එරට සෙනෙට් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සෙනෙට් සභාවේ ප්‍රශ්නකිරීම් හමුවේ වෛද්‍ය ෆවුචි එම ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 

තමන් ලබාදෙන පිළිතුරු පරස්පර විරෝධී බව පවසමින්, අසත්‍ය චෝදනා මත තමන් වැරදිකරුවෙකු කිරීමට පරීක්ෂණ කණ්ඩායම් උත්සාහ කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම විමර්ශනයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ රිපබ්ලිකාන් පක්ෂයේ ප්‍රමුඛ සෙනෙට් සභිකයෙකු වන රැන්ඩ් පෝල් විසිනි. තමන්ට සිරදඬුවම් ලබාදීමේ අරමුණින් රැන්ඩ් පෝල් විසින් මෙම කමිටුව කැඳවා ඇති බවත්, ඔහු තමන්ට එරෙහිව පුද්ගලික වෛරයකින් කටයුතු කරන බවත් වෛද්‍ය ෆවුචි චෝදනා කරයි.

කොවිඩ් වසංගතයේ බියකරු බව පිළිබඳව මහජනතාවට අසත්‍ය පැවසීම සහ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය දිගු කලක් තිස්සේ වෛද්‍ය ෆවුචිට චෝදනා එල්ල කළද, ඔහු දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, කොවිඩ් වෛරසය චීනයේ වූහාන් විද්‍යාගාරයකින් පිටවූවක් බව තමන් මුල සිටම ප්‍රකාශ කළ බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ වෛද්‍ය ෆවුචි දැඩි ලෙස විවේචනය කර ඇත. 

එහිදී ජනාධිපතිවරයා ඔහු 'පිස්සෙකු' ලෙසද හඳුන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තවදුරටත් අවධාරණය කරන්නේ කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිරීමේ ස්වභාවික මූලාරම්භය පිළිබඳ සාක්ෂි පවතින බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෙනෙට් සභික රැන්ඩ් පෝල් විසින් වෛද්‍ය ෆවුචි වසංගත සමයේ ලියන ලද දිනපොත් සටහන් කිහිපයක් මේ සතියේදී මාධ්‍ය වෙත මුදාහැර තිබේ. 

එම සටහන්වලට අනුව, වෛරසයේ මූලාරම්භය ස්වභාවිකව සිදුවූවක් බව ෆවුචි විශ්වාස කළද, එය කිසියම් විද්‍යාගාරයකින් පිටවීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව වසංගතයේ මුල් අවධියේදී ඔහු විවෘත මනසකින් යුතුව සිතා ඇති බව අනාවරණය වේ.

කෙසේ වෙතත්, එල්ල වී ඇති චෝදනා මත වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ක්‍රියාත්මක වන විධිමත් පරීක්ෂණ ඉදිරියටත් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.