කැනඩාවේ ටොරොන්ටෝ නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයට යළිත් වෙඩි ප්‍රහාරයක්
July 28, 2026 05:48 am
කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදු ව තිබේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගොඩනැගිල්ලේ ඉදිරිපසට හානි සිදුව ඇති බවද සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය මාස හතරක කාලය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙය වන බවය.
මාර්තු 10වනදා ද මෙම ගොඩනැගිල්ලටම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වූ අතර, එය සිදුවූයේ ටොරොන්ටෝ ප්‍රදේශයේ යුදෙව් දේවස්ථාන ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් තුනක් වාර්තා වීමෙන් පසුවය.
මේ හේතුවෙන් කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි පිහිටි අමෙරිකානු සහ ඊශ්‍රායල කොන්සල් කාර්යාල ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.
ටොරොන්ටෝ ප්‍රදේශයේ තරුණයින්ට මුදල් ගෙවා යුදෙව් දේවස්ථාන, යුදෙව් පාසල් සහ අමෙරිකානු කොන්සල් කාර්යාලය ඇතුළු විවිධ ස්ථානවලට වෙඩි තැබීමට පොළඹවා ඇති බව එරට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
මාර්තු මාසයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර, එම මෙහෙයුම අතරතුරදී එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට ද පත් විය.
