සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
July 27, 2026 04:44 pm
UPDATE-
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
අද දින පෙත්සම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය.
"ස්වාමීනී, පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට සුරේෂ් සලේ බාධා කර තිබෙන ආකාරය එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ලබාදී තිබෙන කට උත්තරේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. 2019 වසරේ සයින්දමරුදු ප්‍රදේශයේ ඇති වූ පිපිරීමකින් "සාරා ජස්මින්" නමැති කාන්තාවක් මිය නොගිය බවටත් ඇය ඉන්දියාවට පලා ගිය බවටත් කතාබහක් ඇති වුණා. ඇය එම ස්ථානයේදීම මිය ගිය බවටත් ඩී.එන්.ඒ පරීක්ෂණ හරියාකාරව සිදු නොකළ බවටත් සුරේෂ් සලේ අවස්ථා ගණනාවකදීම චෝදනා කර තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. සුරේෂ් සලේගේ මතය වුණේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් නැවත සිදු කළ යුතු බවයි. ඒ අනුව ජනාධිපතිතුමා ලවා එම කාර්යය ඔහු ඉටු කර ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදී තිබෙන ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. "
"පෙත්සම්කාර සුරේෂ් සලේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා 2019 ජනවාරි 03 වනදා තමන් ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවට පිටව ගොස් නැවත පැමිණියේ එම වසරේ දෙසැම්බර් මස බවට. පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරී අවසන් වී පැමිණීමෙන් පසුව සිය රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන් බවට. නමුත් ඔහු මෙම නඩුකරයට එම රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කර තිබෙනවා. එම විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන්නා නම් එහි සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක පිටු 64 ක් පවතිනවා. නමුත් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයෙන් අධිකරණයට ඉදිරිපත් කළ තිබෙන්නේ තෝරගත් පිටු 17 ක් හෝ 18 ක් පමණයි. රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ පිටු හතරක් පමණයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔහුගේ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ 56 වන පිටුවේ මුද්‍රා කිහිපයක් දකින්නට තිබෙනවා. 2019 වසරේ මැයි 18 වනදා ඉන්දීය ආගමන හා විගමන අංශයේ මුද්‍රාවක් තිබෙනවා. එහි සඳහන් වෙනවා "ඩිපාචර්" (Departure) යනුවෙන්. ඉන් පසුව 2019 වසරේ ජූනි මාසයේ ඉන්දියානු ආගමන හා විගණන අංශයේ තවත් මුද්‍රාවක් දකින්නට තිබෙනවා. එහි සඳහන් වෙනවා "එන්ටර්ඩ්"(Entered) යනුවෙන්. පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක පාඨමාලාව සඳහා ඉන්දියාවට පිටව ගිය පසු එරටින් බැහැර නොවූ බවට. එසේ නම් මෙම මුද්‍රාවලින් ඔහු ඉන්දියාවෙන් බැහැර වී තිබෙන බව පැහැදිලි වෙනවා.''
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී තවදුරටත් අදහස් දැක්වූවාය.
"ශානි අබේසේකර තමා කෙරෙහි ද්වේෂසහගත ආකල්පයකින් පසුවන බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබුණා. මෙම විමර්ශනය ශානි අබේසේකරගෙන් ඉවත් කරන ලෙසත් පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මෙම විමර්ශනයට අදාළ පළමු බී වාර්තාව ඉදිරිපත් වන්නේ 2024 වසරේ නොවැම්බර් මස 11 වනදා. එම අවස්ථාවේදී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා පොලිස් සේවයේවත් හිටියේ නෑ. ඒ වගේම 2024 නොවැම්බර් මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරේෂ් සලේ සහ පිල්ලයාන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගන්නවා. එම නියෝග ලබා ගත්තේ ශානි අබේසේකර නොවෙයි."
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙසේ තවදුරටත් කරුණු දැක්වීම සිදුකළා.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රංශයට ගොස් අසාද් මවුලානාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ නීත්‍යානුකූලභාවය ගැන පෙත්සම්කාර පාර්ශවය ප්‍රශ්න මතුකර තිබුණා. එහි කිසිදු නීතිවිරෝධී භාවයක් නැති බව කිවයුතුයි. 2018 අංක 24 දරණ අපරාධ කාරණා වලදී අනෝන්‍ය සහයෝගය ලබා ගැනීම පිළිබඳ පනත යටතේ එක් රටක පොලිස් නිලධාරීන් පිරිසකට වෙනත් රටක පොලිස් නිලධාරීන් සමග එක්ව විමර්ශන සිදු කිරීමට, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවකාශ සලසා තිබෙනවා. ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහයට මෑතකදී එක් කළ සංශෝධනයක් මගිනුත් ඊට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුවයි අසාද් මවුලානා නමැති පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුවුණේ. රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලේ සදහන් වුණා පසුගිය කාලයේ පාස්කු විමර්ශන නිසියාකාරව සිදු නොවූ නිසා අලුතින් විමර්ශනයක් සිදු කරන ලෙස. එම පැමිණිල්ල තුළින් සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබුණා. ඒ අනුව තමයි විමර්ශන ආරම්භ වුණේ."
අනතුරුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුක්ෂාන් සේනාධිර මහතා විසින් සුරේෂ් සලේ මහතාගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට විරෝධය පළකළේය.
එම අවස්ථාවේ සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේ මේ පිළිබඳව සුදුසු අවස්ථාවේදී කරුණු දක්වන ලෙසයි.
අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බලන දිනය නියම කිරීම සඳහා හෙට දින කැඳවීමට අධිකරණය නියෝග කළේය.
===================
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම හෙට (28) දින යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ එම පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.
එහිදී, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළාය.
ඒ අනුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ පෙත්සම හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ අනුව, පෙත්සම විභාගයට ගන්නා ස්ථිර දිනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
