ඇහැළියගොඩ කැලෑවකින් හමුවූ චීන ජාතිකයාගේ මරණයේ තවත් තොරතුරු
July 27, 2026 03:45 pm
වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනයට ලක් වූ චීන ජාතිකයා පරිගණක සම්බන්ධ වංචා සිදුකරමින් මුදල් අයතා ලෙස ඉපයූ පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.
පසුගිය දින කිහිපය තුළ කොළඹ හා බස්නාහිර පළාත තුළ සිදු වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ කරුණුවල සත්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අද (27) ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව පසුගිය 23වන මධ්‍යම රාත්‍රියේ වරාය නගරය තුළදී චීන ජාතිකයින් පිරිසක් අතර සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
චීන ජාතිකයින් දෙපිරිසක් අතර පසුගිය 23වන අලුයම 3ට පමණ ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු අතර ඔහුගේ මෘත ශරීරය ඇහැලියගොඩ ප්‍රදේශයේදී හමු වී තිබුණි.
එම සිද්ධියට අදාළව සාර්ථක විමර්ශනයක් සිදුවෙමින් පවතින බව පැවසූ කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එම සිදුවීම සිදුවී පැය කිහිපයක් අතරතුර මෙරටින් පලායාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ඔවුන් එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් බවට දැනට තහවුරු වී ඇති බවද පැවසීය.
මේ අතර සැකකරුවන් 08 දෙනෙකු එම සිද්ධියට අදාළව හඳුනාගෙන ඇති අතර ඉන් තිදෙනෙකු මේවන විටත් මෙරටින් පලාගොස් ඇති බවද ඔවුන්ව මෙරටට කැඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද පැවසීය.
මෙහිදී වායු පිස්තෝල දෙකක්, ජංගම දුරකතනයක්,වෝකි ටෝකි එකක් හා වාහන කිහිපයක් මෙම සිද්ධියට යොදාගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවද පැවසීය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයද ,චීන රජයත් සමඟ මනා සම්බන්ධීකරණයෙන් යුතුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවද කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.
