පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත වෙයි
July 27, 2026 01:43 pm
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විවෘත කර තිබේ.
පසුගිය 25 වැනි දින මෙම කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විවෘත කර ඇති අතර මෙම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සියුලර් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙරට සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන්වල කොටසක් ලෙස මෙය විවෘත කර ඇත.
විදේශ අමාත්‍යාංශය පැවසුවේ මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම මගින් දෙරට අතර පවතින මිත්‍රත්වය සහ පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාවද පිළිබිඹු වන බවය.
මින්ඩනාඕ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට කොන්සියුලර් සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඩාවෝ නගරය මේ සඳහා තෝරා ගෙන ඇති අතර මෙතෙක් බොහෝ පිරිසකට සිය කොන්සියුලර් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා බොහෝ විට දේශීය ගුවන් ගමන් මගින් මැනිලා නුවර වෙත යාමට සිදු විය.
මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම මඟින් කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් අදාළ සේවාවන් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් හිමිවේ.
