ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්
July 27, 2026 01:15 pm
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
ඒ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට ඉන් බලපෑම් එල්ල වන බව පවසමින්ය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකොට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවට ඇති විශ්වාසනීයත්වය සහ අඛණ්ඩ ගෞරවය ආරක්ෂා කරන ලෙසයි.
මෙරට උපරිමාධිකරණ වන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන ආයතනවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව ආණ්ඩුව නුදුරේදිම කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට නියමිතව ඇතැයි වෙයි.
එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් මේ වනවිටත් සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙරට ප්‍රාථමික අධිකරණ විනිසුරුවන් වන දිසා විනිසුරුවන් සහ මහේස්ත්රාත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයද මෙම යෝජනාවට විරෝධය පළ කරමින් ජුලි මස 11 වනදා පැවති මහා සභා රැස්වීමේදී යෝජනාවක් සම්මතකරගත් අතර ඒ පිළිබඳ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමටද එම සංගමය තීරණය කර තිබුණි.
එවැනි පසුබිමක උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය එකඟ නොවන බව දන්වමින් එම සංගමය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට ලිපියක්ද යොමුකර තිබේ.
එහි අදාළ සංශෝධනය නොකළ යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකිරීමටද අධිකරණ සේවා සංගමය කටයුතු කර තිබේ.
ඊට අනුව යෝජිත සංශෝධනයත් සමඟ ඉදිරි වසර දෙකක කාලය තුළ අධිකරණ නිලධාරියෙකු ඉහළ අධිකරණයකට හෝ ශ්‍රේණියකට උසස්වීම සම්පූර්ණයෙන්ම ඇණ සිටීම සිදුවන බව මෙම ලිපියේ සඳහන්ය.
එසේම අධිකරණ නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම සඳහා ගතවන කාලය මෙම සංශෝධනය හේතුවෙන් තවත් වසර දෙකකින් දීර්ඝ වනබවද මෙහි දක්වා තිබේ.
ඒ තුළ මහාධිකරණයට පත්වීමේ ක්‍රමවේදයේ අසමතුලිතතාවය වර්ධනයවීම හා අධිකරණයේ වෘත්තීය විනිසුරු සංයුතිය දැඩි ලෙස පහත වැටීම සිදුවන බවද අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාට පැහැදිලි කර තිබේ.
මෙම යෝජිත සංශෝධනය හරහා අධිකරණවල සේවය කරන විනිසුරුවන්ගේ වෘත්තීය අභිප්‍රේරණය දැඩි ලෙස පිරිහෙන බවත්, අධිකරණ සේවයේ ආකර්ෂණය අඩුවීම නිසා දක්ෂ තරුණ නීතිඥයින් වෙනත් මාර්ග තෝරාගනු ඇති බවත් අධිකරණ සේවා සංගමය සිය නිවේදනය තුළින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකර අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවට ඇති විශ්වසනීයත්වය සහ අඛණ්ඩ ගෞරවය ආරක්ෂා කරන ලෙසය.
