මී ගසක අත්තක් කඩා වැටී කාන්තාවක් මරුට
July 26, 2026 09:11 pm
කරන්දෙණිය, මහගොඩ ප්රදේශයේ පිහිටි දේවාල භූමියකදී මී ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක අද (26) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහගොඩ, අම්පිටිය දේවාල භූමියට වන්දනා කටයුත්තක් සඳහා පැමිණ සිටි මෙම කාන්තාව, එම භූමියේ තිබූ මී ගසක අත්තක් ඇඟ මතට කඩා වැටීමෙන් බරපතළ අනතුරකට ලක්ව ඇත.
අනතුරෙන් පසු වහාම ක්රියාත්මක වූ ප්රදේශවාසීන් ඇයව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව කරන්දෙණිය පොලීසිය පැවසීය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ තල්ගහවත්ත ප්රදේශ පදිංචි අවුරුදු 65ක කාන්තාවක්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
