උණුසුම් කාලගුණයෙන් ගොවිබිම්වලට බලපෑම්

උණුසුම් කාලගුණයෙන් ගොවිබිම්වලට බලපෑම්

July 26, 2026   07:51 pm

එල් නිනෝ තත්ත්වය සමඟ මතුව ඇති උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර මෙන්ම ගොවිබිම්ද දැඩි බලපෑමට ලක්වෙමින් පවතී.

ඇතැම් ප්‍රදේශවල වැව් පවා සිඳී යමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට එල් නිනෝ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර, එම තත්ත්වය වසරක පමණ කාලයක් බලපැවැත්විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය පසුගිය ජූලි 13 වනදා ප්‍රකාශ කර තිබුණේ, 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාවේදී ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 81%ක සම්භාවිතාවක් පවතින බවයි.

මේ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි අවම උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අද දහවල් ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා තිබේ.

වියළි කාලගුණ තත්ත්වය විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලටද බලපෑම් එල්ල කරමින් පවතී.

ඒ අනුව, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර, මේ වනවිට එහි සක්‍රිය ජල ධාරිතාව 35.14%ක් දක්වා පහළ බැස තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට කිසිදු වර්ෂාපතනයක් ලැබී නොමැත.

මේ අතර, වියළි කාලගුණ තත්ත්වය හමුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් රැසක් සිඳී ගොස් ඇති බව වාර්තා වේ.

කන්තලේ, අග්බෝපුර සහ වාන්ඇල යන ප්‍රදේශවල වැව් මේ වනවිට දැඩි බලපෑමට ලක්ව ඇති අතර, එම වැව්වලින් පෝෂණය වූ කුඹුරු වගා අත්හැර දැමීමට ගොවීන්ට සිදුව තිබේ.

එමෙන්ම, උෂ්ණාධික කාලගුණය හේතුවෙන් අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ ගස්ලබු, වම්බටු සහ මිරිස් ඇතුළු බෝග වගාවන්ද දැඩි බලපෑමට ලක්ව තිබේ.

ජලය නොමැතිව එම වගාබිම් වියළී විනාශ වෙමින් පවතින බවට ගොවීහු පවසති.