රට පුරා සිදුවන දියේගිලීම් මරණ අඩුකරන්න පුළුල් ජාතික යාන්ත්‍රණයක්
July 26, 2026 07:10 pm
දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කරමින් දියේගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා වූ පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය 24වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ඒ, මෙම පූර්වගාමී පියවර සම්බන්ධයෙන් පවත්වන ලද ඉහළ පෙළේ සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙසිනි.
දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කරමින් දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින්, සෝදිසියෙන් යුතු ජාතික රාමුවක් ස්ථාපනය කිරීම සඳහා අන්තර් - ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු විය.
සභාවාරය ආරම්භ කරමින් අදහස් දැක් වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, පූර්ව සාකච්ඡාවේ ප්‍රතිඵල සහ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර තිබේ.
ඉහළ යන ජලජ අනතුරු සංඛ්‍යාව හුදෙක් සාමාජීය ගැටලුවක් පමණක් නොව, මහජන ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලපාන සුවිශේෂී කරුණක් බව එතුමන් පෙන්වා දුන්නේය.
විධිමත් හා සම්බන්ධීකරණය කරන ලද ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක පවතින අඩුව රටට දැඩි අවදානමක් ගෙනදෙන බව සඳහන් කළ එතුමන්, දියේ ගිලීම් වැළැක්වීම සඳහා සඵලදායී, තිරසාර සහ බහු-ක්ෂේත්‍ර ප්‍රවේශයක් වහාම ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.
මේ අතර, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්, කුඩා අවදියේ සිටම සිසුන් තුළ දැනුවත්භාවය සහ සූදානම ඇති කිරීම සඳහා ජාතික පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීමට යෝජනා කළේය.
අධ්‍යාපන පද්ධතිය තුළට ජල ආරක්ෂණ දැනුම අනුගත කිරීම මගින්, ගංගා, ඇළ දොළ සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ භාවිතයේදී වගකීම් සහගත ලෙස හැසිරීමේ සංස්කෘතියක් මෙන්ම වැළැක්වීමේ ස්වභාවයක් අනාගත පරපුර තුළ තහවුරු වන බව ඔහු සඳහන් කළේය.
දියේ ගිලීම් වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙලට සහාය වීම සඳහා තරුණ ප්‍රජාවට ඉටු කළ හැකි වැදගත් කාර්යභාරය යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදි.
ඒ අනුව, වෘත්තීය ජීවිතාරක්ෂක සේවාවන් සඳහා අතිරේක ශක්තියක් විය හැකි පුහුණු ස්වේච්ඡා බලකායක් ගොඩනැගීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ඔස්සේ තරුණ තරුණියන් සක්‍රියව දායක කරගැනීමට ඔහු යෝජනා කළේය.
