මිනිසාට පෙර පෘථිවියේ තවත් දියුණු ශිෂ්ටාචාරයක් තිබුණාද?

මිනිසාට පෙර පෘථිවියේ තවත් දියුණු ශිෂ්ටාචාරයක් තිබුණාද?

July 26, 2026   05:25 pm

අදින් වසර මිලියන ගණනකට පෙර, මිනිසා පොළොවට පය තැබීමටත් බොහෝ කලකට ඉහතදී, අප වැනිම හෝ අපටත් වඩා දියුණු වෙනත් කාර්මික ශිෂ්ටාචාරයක් පෘථිවියේ ජීවත් වී විනාශ වී ගියේ නම්?

බැලූ බැල්මට Science Fiction චිත්‍රපටයක කතාවක් මෙන් පෙනුනද, මෙය ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද අතිශය බැරෑරුම් විද්‍යාත්මක සිතුවිලි අත්හදා බැලීමකි.

මෙම කතාවේ ආරම්භය සනිටුහන් වන්නේ 2017 වසරේදීය. 

රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ජීව විද්‍යාඥ (Astrobiologist) මහාචාර්ය ඇඩම් ෆ්‍රෑන්ක්, නාසා ආයතනයේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥයෙකු වන ගැවින් ෂිමිට් හමුවීමට ගියේය.

ෆ්‍රෑන්ක්ගේ අරමුණ වූයේ පිටසක්වල දියුණු ජීවීන් සිටින ග්‍රහලෝකවලත් අප වැනිම දේශගුණික විපර්යාස ඇතිවිය හැකිදැයි සෙවීමයි.

එහිදී ෆ්‍රෑන්ක් පැවසුවේ, "ඇත්තටම අපිට වෙනත් ග්‍රහලෝක දිහා බලන්න සිද්ධ වෙන්නේ, අපේ පෘථිවියේ මිනිසාට පෙර වෙනත් කිසිදු දියුණු ශිෂ්ටාචාරයක් නොතිබූ බව අපි දන්නා නිසයි" යනුවෙනි.

එවිටම ඔහුව නැවැත්වූ ගැවින් ෂිමිට් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය. "මීට පෙර ශිෂ්ටාචාරයක් නොතිබූ බව ඔයා එච්චරටම ස්ථිරවම දන්නේ කොහොමද?"

මෙම ප්‍රශ්නය ඔස්සේ විද්‍යාඥයන් දෙදෙනා එකතු වී පර්යේෂණයක් ඇරඹූ අතර, 2018 වසරේදී ඔවුන් "සිලූරියන් උපකල්පනය" (Silurian Hypothesis) නමින් ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළහ. (මෙම නම තබා ඇත්තේ "Doctor Who" නමැති බ්‍රිතාන්‍ය ටෙලි කතාවේ එන මිනිසාට පෙර පෘථිවියේ විසූ යැයි කියන Silurian නම් උරග විශේෂයක් ඇසුරින් ය.)
("Doctor Who" බ්‍රිතාන්‍ය ටෙලි කතාවේ එන Silurian නම් උරග විශේෂය)

වසර මිලියන ගණනක ඇවෑමෙන් සාක්ෂි මැකී යන හැටි

පෘථිවියට වයස අවුරුදු බිලියන 4.5කි. නමුත් සතුන් සහ ශාක වැනි සංකීර්ණ ජීවීන් බිහිවී ඇත්තේ වසර මිලියන 540ක පමණ සිටය.

මිනිසා කාර්මික යුගයකට පා තබා තවමත් ගතවී ඇත්තේ වසර 200ක පමණ කාලයකි. 

එය පෘථිවියේ ඉතිහාසය සමඟ සැසඳීමේදී ඇසිපිය හෙලන සැණකින් සිදුවූවකි.

යම් හෙයකින් මීට වසර මිලියන 100කට හෝ 200කට පෙර වසර ලක්ෂයක් පමණ පැවති දියුණු ශිෂ්ටාචාරයක් තිබුණේ නම්, ඔවුන්ගේ නගර සහ ගොඩනැගිලි අද වන විට සෙවිය නොහැකි පරිදි මැකී යා හැකිය.

පෘථිවියේ ඇති පැරණිතම ගොඩබිම් ප්‍රදේශයල් ලෙස හඳුන්වන ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරය පවා ඇත්තේ වසර මිලියන 1.8ක පමණ වූ ඉතිහාසයකි.
(ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරය)

ඉතිරි සියලු ගොඩබිම් කාලයත් සමඟ භූ තැටි චලනය (Plate Tectonics) නිසා පොළොව යටට වැළලී, උණුවී, සම්පූර්ණයෙන්ම අලුත් වී ඇත.

සතෙකු මියගිය පසු ෆොසිලයක් බවට පත්වන්නේ ඉතාමත් කලාතුරකිනි.

වසර මිලියන 180ක් තිස්සේ මුළු පෘථිවියම පාලනය කළ ඩයිනසෝරයන්ගේ පවා අපට හමුවී ඇත්තේ සම්පූර්ණ ෆොසිල කිහිපයක් පමණි.

පොළොව යට සැඟවුණු රසායනික සලකුණු

එසේ නම්, අපට පෙර ශිෂ්ටාචාරයක් තිබුණේ දැයි සෙවිය හැක්කේ කෙසේද?

විද්‍යාඥයන් පවසන්නේ නටබුන් සොයනවා වෙනුවට, පාෂාණ ස්ථරවල ඇති රසායනික වෙනස්කම් සෙවිය යුතු බවය.

උදාහරණයක් ලෙස අදින් වසර මිලියන ගණනකට පසු අනාගතයේ ජීවත්වන කෙනෙකු මිනිස් ශිෂ්ටාචාරය ගැන සෙවුවහොත් ඔවුන්ට ගොඩනැගිලි හමුනොවනු ඇති අතර පෘථිවි පාෂාණ ස්ථර අතරින් පහත සාක්ෂි හමුවනු ඇත.

- ස්වාභාවිකව විනාශ නොවන, මිනිසා විසින් නිපදවූ ප්ලාස්ටික් සහ ඩයොක්සින් වැනි රසායනික ද්‍රව්‍යවල අංශු.

- ඉන්ධන දහනය නිසා වායුගෝලයට එකතු වූ අසාමාන්‍ය කාබන්-12 අයිසොටෝප සලකුණු.

- ගොවිතැන නිසා පරිසරයට එකතු වූ නයිට්‍රජන් සහ පොස්පරස් මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණවලට ගත් බර ලෝහ.

සියල්ලන්ම මෙය පිළිගන්නවාද?

මෙම පර්යේෂණය කළ ඇඩම් සහ ගැවින් පවා පෘථිවියේ පෙර ශිෂ්ටාචාරයක් තිබූ බව 100%ක් විශ්වාස නොකරති. 

ඔවුන් කළේ එවැන්නක් සිදු නොවූ බවට අපට තවම ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නැති බව පෙන්වා දීම පමණි.

කෙසේ වෙතත්, ප්‍රකට භූ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජෑන් සලාසිවිච් (Jan Zalasiewicz) පවසන්නේ මිනිසා පරිසරය වෙනස් කර ඇති දැවැන්ත ස්වභාවය අනුව, අප වැනි "බලශක්ති භාවිත කරන හා නිෂ්පාදනයන් කරන ශිෂ්ටාචාරයක් මීට පෙර තිබුණේ නම් අනිවාර්යයෙන්ම එහි රසායනික හෝ ෆොසිල සලකුණු පොළොවෙන් හමුවිය යුතු බවය.

එබැවින් අප වැනිම කාර්මික ශිෂ්ටාචාරයක් මීට පෙර නොතිබූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.

අවසාන වශයෙන්, සිලූරියන් උපකල්පනය අපට අපේම අනාගතය දෙස හැරී බැලීමට කණ්ණාඩියක් සපයයි.