අවුරුදු 4ක දරුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

අවුරුදු 4ක දරුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

July 26, 2026   08:16 am

දිවයිනේ විවිධ ස්ථානවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් ඊයේ (25) දිනයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු කොලොන්න, වැලිකඩ, දඹුල්ල සහ පුලියන්කුලම ප්‍රදේශවල සිදුව ඇති බවය. 

ඊයේ රාත්‍රියේදී කොලොන්න පොලිස් වසමේ කෑල්ල ඌරුබොක්ක මාර්ගයේ තිත්තලතැන්න ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ඕමල්පේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වූ හාල්පන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම ඊයේ අලුයම් කාලයේදී වැලිකඩ පොලිස් වසමේ අඹගහ හන්දිය රාජගිරිය අතර මාර්ගයේදී රාජගිරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

එහිදී යතුරුපැදියේ සිටි කුඩා දරුවෙකු ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා IDH රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 04ක් වූ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේ කපුවත්ත හන්දිය ආසන්නයේදී දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබේ.

එහිදී පදික කාන්තාවකගේ හා තවත් පිරිමි ළමුන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ ළමුන් දෙදෙනා සහ කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 44ක් වූ කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තවද පුලියන්කුලම පොලිස් වසමේ A9 ප්‍රධාන මාර්ගයේ පූතූර් ප්‍රදේශයේදී වව්නියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී ආරක්ෂක වැටේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුපැදිකාරිය තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මරණකරු අවුරුදු 23ක් වූ උළුක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව පුලියන්කුලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.