බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට 

බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට 

July 25, 2026   08:33 pm

UPDATE - බෙල්ලන්විල ප්‍රදේශයේදී අද (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර බොරලැස්ගමුව පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

දෙහිවල - බොරලැස්ගමුව මාර්ගයේ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසළදී අද රාත්‍රී 7.45ට පමණ මෙම වෙඩිතැබීම සිදු විය. 

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ ඒ අසළ පිහිටි අවන්හලක් ඉදිරිපිට සිටි එම අවන්හලේ හිමිකරුය.

වෙඩි ප්‍රහාරය ඔහුගේ උදර ප්‍රදේශයට එල්ලවී ඇති අතර තුවාල ලැබූ ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. 

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 55ක පුද්ගලයෙකු වන අතර ඔහු 
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමට ලක්වූ පුද්ගලයා කොස් මල්ලී නම් සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවට සැක පළ කෙරෙන අතර කොස් මල්ලී පාර්ශ්වයට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් වෙඩිතැබීම මෙහෙයවන්නට ඇතැයි පොලිසිය සැක පළ කර තිබේ.

-----------------------------

බෙල්ලන්විල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් අයෙකු තුවාල ලබා ඇති බවත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු බවද පොලීසිය සඳහන් කළේය.