දෙමළ පක්ෂ හයක් ජනාධිපති හමුවීමට ඉල්ලයි
July 25, 2026 01:11 pm
ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟත්වයක් ඇති කරගත් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය (TPA) යන පක්ෂවල නියෝජිතයින් විසින් මේ මස මුලදී ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරීම සඳහාය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ආශ්රිත ගැටළු විසඳීම සහ සුළුතරයන් සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් මෙම පක්ෂ අතර එකඟතාවක් ඇති කරගන්නා ලදී.
ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ මෙරට සිටින රාජතාන්ත්‍රික නියෝජිතයින් හමුවී අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.
සිය ඉල්ලීමට ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවත් එකඟතාවයකට පැමිණි කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කරමින් යුක්තිය, ස්ථාවර සාමය සහ අඛණ්ඩ දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ගමන් කිරීමට අපේක්ෂා කරන බවත් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් නියෝජතයෝ වැඩිදුරටත් සඳහන් කරති.
