රුසියානු නියෝජිතයින් පිරිසක් මෙරට සංචාරයක
July 24, 2026 09:47 pm
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව තිබේ.
මෙම නියෝජිත පිරිස ඊයේ (23) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා හමු ව ඇත.
නියෝජිත පිරිස පිළිගනිමින් අමාත්‍ය හේමචන්ද්‍ර මහතා, මෙරට සහ රුසියානු සමූහාණ්ඩුව අතර දිගුකාලීන හා සුහද සබඳතා ඉස්මතු කර ඇති අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව යන අංශවල සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් දෙරටටම ප්රත්යක්ෂ ආර්ථික ප්රතිලාභ අත්වන බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ, විශේෂයෙන් හෝටල් සංවර්ධනය සහ සංචාරක යටිතල පහසුකම්වල ආයෝජන හැකියාවන් පිළිබඳව අවධාරණය කළේය.
මෙරට සංචාරක සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය (BOI) වැනි රාජ්‍ය ආයතන හරහා නිශ්චිත සංචාරක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල විදේශීය ආයෝජකයින්ට ඇති අවස්ථා පිළිබඳව ඔහු නියෝජිතයින්ට පැහැදිලි කළේය.
උප සභාපති ඇන්ටන් මොරොස්ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ප්රමුඛ රුසියානු ඉදිකිරීම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයින් 24දෙනෙකු ඇතුළත් වේ.
මෙම සංචාරය අතරතුරදී රුසියානු දූත පිරිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සහ සහයෝගීතාව සඳහා අවස්ථා ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇත.
මෙම පිරිස ශ්‍රී ලාංකික ඉදිකිරීම් වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමේ මාර්ග ගවේෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නියෝජිතයින්ද හමුව තිබේ.
