ඝාතනයකට සැකපිට ඇල්ලූ චීන ජාතිකයන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
July 24, 2026 09:08 pm
වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
මොවුන් දෙදෙනා විසින් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (23) ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.
චීන ජාතිකයින් තිදෙනෙකු අලුයම කොළඹ කොටුව, වරාය නගරයේ මාලු ඇල්ලීම සඳහා කැබ් රථයකින් තිබුණි.
අනතුරුව එම ස්ථානයට වාහන දෙකකින් පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
එහිදී පහරදුන් පිරිස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන, ඔවුන් පැමිණි එක් වෑන් රථයක් ද එහි දමා පළා ගොස් ඇති අතර අනතුරුව එහි තිබී වායු පිස්තෝලයක් සොයාගත් බව සඳහන්ය.
මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් කැළැබද ප්‍රදේශයක සැක කටයුතු ගල් ගොඩක් හමුවූ අතර එය පරීක්ෂා කිරීමේදී මිනිස් අතක කොටසක් දැක ඇත.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී එය චීන ජාතිකයෙකුගේ බවට හඳුනාගත් අතර, අනතුරුව අදාළ මළ සිරුර කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ බවට තහවුරු විය.
ඒ අනුව සිරුර වැඩිදුර විමර්ශන සඳහා ඊයේ (23) පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගියේය.
මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද සොයාගෙන ඇති අතර එය සැකකාර චීන ජාතිකයින් පිරිස මෘත දේහය රැගෙන ඒම සඳහා භාවිත කළ එකක් බවට සැක කෙරේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළායාමට සඳහා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා සඳහන් කළේය.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසියට රැගෙනවිත් ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
චීන ජාතිකයින් අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.
