මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

July 24, 2026   05:08 pm

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇති අතර, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඒවා භාර ගත යුතු වේ. 

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.  

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට පවතී නම්, විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම සංශෝධන සිදු කළ යුතුය. 

පෞද්ගලික අපේක්ෂකයින්ට ද තම ප්‍රවේශ පත්‍රවල සංශෝධන පවතී නම් ඉහත වෙබ් අඩවියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඒවා මාර්ගගතව නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.  

මෙම ප්‍රවේශ පත්‍ර සංශෝධන කටයුතු සිදු කිරීම අගෝස්තු 03වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන අතර, එම සංශෝධන කාලය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. 

මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම්, 

1911 - ක්ෂණික ඇමතුම් අංකය

011-2784208/011-2784537 - දුරකථන අංක

011-2784422 - ෆැක්ස් අංකය

gcealexamsl@gmail.com - විද්‍යුත් තැපෑල

ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකියි.