'නිල්දිය පොකුණ' කඩිනමින් විවෘත කිරීමට සැරසෙයි
July 24, 2026 02:42 pm
ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ භූගත ජලාශයක් වන 'නිල්දිය පොකුණ' අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කඩිනමින් මහජනතාව සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලය පවසයි.
ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නිල්දිය පොකුණේ ජල සාම්පල පරීක්ෂාව සඳහා පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
රාවණාඇල්ල වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියා සඳහන් කළේ, රජයේ නියමිත නිර්ණායකයන්ට අනුව අවශ්‍ය පිළියම් යෙදීමෙන් පසු සංචාරකයන්ට මෙහි පැමිණීමට අවස්ථාව සලසා දෙන බවයි.
ඒ අනුව උමග තුළ සිටින පිරිස් සමඟ සන්නිවේදනය සඳහා 'වෝකිටෝකි' උපකරණ භාවිතය, සංචාරකයන් සඳහා අවශ්‍ය උපදෙස් ඇතුළත් දැනවීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, උමඟ තුළට යාමට අත්‍යවශ්‍ය වන ආරක්ෂිත හිස්වැසුම් සහ ආරක්ෂිත කඹ ලබාගැනීම සඳහා විශේෂ ස්ථාන පිහිටුවීම යනාදී මූලික පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.
මෙම ස්ථානය අඛණ්ඩව වසා තැබීමේ කිසිදු තීරණයක් නොමැති බව ද නිලධාරීහු අවධාරණය කළේය.
කෙසේ නමුත් ජල සාම්පල ලබාගැනීමට නිලධාරීන් ගිය අවස්ථාවේදී එහි යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත. උමඟ තුළට යාම සඳහා එහි සිටි මඟපෙන්වන්නන්ගෙන් සහය ඉල්ලා සිටියද, ඔවුන් ඊට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත්, එම බාධා කිරීම් මධ්‍යයේ වුවද වනජීවී හා පරිසර අධිකාරී නිලධාරීන් එක්ව උමඟ තුළට බැස, පොකුණේ ස්ථාන 4කින් සාර්ථකව ජල සාම්පල ලබා ගැනීමට කටයුතු කර ඇත.
පැන නැඟුණු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බණ්ඩාරවෙල සහ ඇල්ල යන පොලිස් ස්ථානවල නිලධාරීන් ද එම ස්ථානයට කැඳවීමට පියවර ගැනුණි.
දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගත් නිල්දිය පොකුණ, ආරක්ෂිත හේතූන් මත ඉකුත් 2025 දෙසැම්බර් 26 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට රාවණාඇල්ල වනජීවී කාර්යාලය පියවර ගෙන තිබුණි.
මෙම දීර්ඝකාලීන වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක මඟපෙන්වන්නන්, අවට වෙළෙඳුන් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් ද දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටියි. මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ඇතැම් මඟපෙන්වන්නන් බලහත්කාරයෙන් පොකුණට බැසීමට උත්සාහ කර ඇති අතර, ඒ හේතුවෙන් ඊට ඇතුළුවීම තහනම් කරමින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ද නියෝගයක් නිකුත් කර තිබේ.
