හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි - ගමනාගමනයට බාධා
July 23, 2026 10:10 am
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (23) උදෑසන විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.
අද පෙ.ව. 6.10ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත්තේ උදෑසන කාලයේ කාර්යාල සේවකයින්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් ගන්නා ඉතා කාර්යබහුල වේලාවකය.
මේ හේතුවෙන් මාර්ගයේ දෙපසම දැඩි වාහන තදබදයක් හටගත් අතර මගීන් රැසක් දැඩි අපහසුතාවයට පත් වූහ.
කෙසේ වෙතත්, සිදුවීම සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, වතු කම්කරුවන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සහ හැටන් පොලීසියේ නිලධාරීන් එක්ව මහත් ශ්‍රමයක් දරා කඩා වැටුණු ගස ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
පැයකට ආසන්න මෙහෙයුමකින් පසු, මාර්ගයේ අවහිරතා සම්පූර්ණයෙන්ම ඉවත් කර යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී ඇති අතර, මේ වන විට රථවාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරේ.
