ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 9ක් අත්අඩංගුවට

ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 9ක් අත්අඩංගුවට

July 22, 2026   10:21 pm

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කරමින් අනවසර මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

අද (22) සන්ධ්‍යාවේ තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති බව නාවික හමුදාව පැවසීය.

ඉරණතිව් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ඉන්දීය ධීවර යාත්‍රා 50කට අධික සංඛ්‍යාවක් මසුන් අල්ලමින් සිටින බව නාවික හමුදාවට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කරමින් එම යාත්‍රා පලවා හැරීමට කටයුතු කර තිබේ.

එහිදී පලායාමට උත්සාහ කළ එක් ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස සහ ඔවුන් සතු යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම දිස්ත්‍රික් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.