ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා

July 21, 2026   09:24 pm

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී අද (21) සඳහන් කෙරුණි.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේය.

පුරා දින හතක් තිස්සේ පැවැති පෙත්සම්කාර පාර්ශවයේ දේශන ද අද අවසන් කෙරුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද යළි සලකා බැලුණි.

ඒ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු හමුවේය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා එහිදී කරුණු දැක්වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

"ස්වාමීනි, ISIS මතවාද ශ්‍රී ලංකාව තුළ දරුණු ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා යුද හමුදා බුද්ධි බළකායේ අධ්‍යක්ෂවරයා ලෙස 2016 වසරේ ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමුකර තිබෙනවා. එම මතවාද රට තුළ ව්‍යාප්ත වන අයුරු ඔහු එහිදී පෙන්වාදී තිබුණා. සිරියාවේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් මියගිය IS සංවිධානයට සම්බන්ධව සිටි ශ්‍රී ලාංකිකයකු ගැන යුද හමුදා බුද්ධි බළකාය විමර්ශනයක් සිදුකළා. පසුව ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් "සංකල්ප පත්‍රිකාවක්" සුරේෂ් සලේ සකස් කළා. ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බවටත් ඔහු යෝජනා කළා. මේ සියල්ල ඔහු එවක ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කර තිබුණා. නමුත් ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සුරේෂ් සලේ සිදුකළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ පුද්ගලයෙකු අකමැත්ත පළකර තිබුණා. ඒ බව එවක යුද හමුදාපති ජගත් ක්‍රිශාන්ත ද සිල්වා ජනක් ද සිල්වා කොමිසමට ලබාදී තිබූ සාක්ෂියේ සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් ඉස්ලාමීය අන්තවාදී කටයුතු පිළිබඳ සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණුවල යම් අඩාළ වීමක් සිදු වූ බව එවක හමුදාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඊට මාස දෙකකට පමණ පසුව  සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බලකායෙන් ඉවත් කර මැලේසියාවට යවනවා. ඒ දේශපාලන හේතුන් මත. මේ ආකාරයට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම් කරන්නේ කෙසේද? ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ සොයා බලන බුද්ධි නිලධාරීන් එකිනෙකා රිමාන්ඩ් කළහොත් මෙම තත්වය පිටුදකින්නේ කෙසේ ද?" යනුවෙන් මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා 

" ස්වාමීනි... මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භූමියට අසාද් මවුලානා නමැති වරෙන්තුකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. අසාද් මවුලානා යනු දේශපාලන සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ අධිකරණය දැඩි අපහාසයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිට පහළටම දූෂිත බව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි පුද්ගලයෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ කෙසේද? මේක ලැජ්ජාවට කරුණක්. 2018 වසරේ පෙබරවාරි මස දිනක සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායමක් වනාතවිල්ලුව ප්‍රදේශයේදී හමුවූ බවට අසාද් මවුලානා කර ඇති ප්‍රකාශයත් අමූලික බොරුවක්. ඒ අවස්ථාවේදී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටියේ නෑ. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයේ තිබෙනවා පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස මෙම ප්‍රහාරය පිළිබඳ සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර එවක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙත තමා වට්ස්ඇප් පණිවුඩයක් යවා තිබූ බව. රවී සෙනෙවිරත්න මහතා ජනක් ද සිල්වා කොමිසමට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටි බවට. එසේ නම් ඔහු පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත්තේ ඇයි?" 

යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා.

" ස්වාමීනි... සුරේෂ් සලේගේ මව කිතුනු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ  සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුනු දේවස්ථානයට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනකම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුනු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද ස්වාමීනි..?" යනුවෙන් විමසා සිටියා.

පුරා දින හතක් තිස්සේ පැවැති පෙත්සම්කාර පාර්ශවයේ දේශන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අද අවසන් කරනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි.

එම මූලික විරෝධතා ලබන 27 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කළේය.