මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
July 21, 2026 05:58 pm
මෙරට මහජන සෞඛ්‍ය සේවාවේ අභිමානවත් සියවස් පූර්ණ සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
1926 වසරේදී දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 'කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය' පිහිටුවීමත් සමඟ ආරම්භ වූ මෙරට මහජන සෞඛ්‍ය සේවාව, අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 362කට වඩා වැඩි සක්‍රීය ජාලයක් බවට පත්ව ඇත.
ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ උන්නතිය උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට ලක් කෙරිණි.
ශත සංවත්සර සමරු ග්‍රන්ථය සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සේවාවේ අනාගත දිශාව ඇතුළත් ධවල පත්‍රිකාව ඇතුළු ප්‍රකාශන කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලදී.
මෙරට මාතෘ මරණ සංඛ්‍යාව 2500 සිට 25 දක්වාත්, ළදරු මරණ සංඛ්‍යාව (සජීව උපත් 1000කට) 200 සිට 5-6 දක්වාත් අඩු කරගැනීමට මෙන්ම මැලේරියා වසංගතය මෙරටින් තුරන් කිරීමට හැකි වූයේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ කැපවීම නිසා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක (WHO නියෝජිත) වෛද්‍ය Rajesh Sambhajirao Pandav මහතා පැවසුවේ බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහනය ඉහළ යාම, මානසික සෞඛ්‍ය ගැටලු සහ දේශගුණික අවදානම් වැනි නව අභියෝග හමුවේ ඉදිරි අනාගතයට මුහුණදීමට සෞඛ්‍ය ක්ෂේත්රය සූදානම් විය යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඛණ්ඩ සහය හිමිවන බවත්ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ වත්මන් රජය ආරම්භ කර ඇති 'ආරෝග්‍යා' වැඩසටහන යටතේ ප්‍රමුඛතම අවධානය ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්රයට යොමුකර ඇති බවත්, එමඟින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක පරිවර්තනයක් සිදුවන බවත්ය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි, රාජ්‍ය නිලධාරීන් මෙන්ම WHO, UN සහ UNICEF වැනි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
