ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක හදිසි වැටලීමක්

ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක හදිසි වැටලීමක්

July 21, 2026   04:43 pm

දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් කර තිබේ.

ඊයේ (20) දින මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී වෙළෙඳසැල් 112ක් එම අධිකාරියේ නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂා කර ඇත.

මහජනතාව සහ මගීන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම මෙම විශේෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම වැටලීම්වලදී නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීමවර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, බේකරි නිෂ්පාදන, අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදන දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම සහ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුළු වැරදි රැසක් අනාවරණය වී ඇත.

මෙම වැරදි සිදුකළ වෙළෙඳසැල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මහේස්ත්‍රාක් අධිකරණවල නඩු පැවරිමට කටයුතු යොදා ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

අධිකාරිය පැවසුවේ මගී ජනතාවට නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ලබාදෙන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම මෙවැනි වැටලීම් ඉදිරියේදීද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

තවද මෙවැනි අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 පැමිණිලි ඒකකය වෙත කාර්යාල වේලාවන් තුළදී තොරතුරු ලබා දෙන ලෙසත් එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.