වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026   09:39 am

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ජනවාරි මස පළමුවන දින සිට ජුලි මස දක්වා කාලය තුළ මුහුදු කලාප ආවරණය කරමින් සිදුකළ ආවේෂණ සහ මුර සංචාරක මෙහෙයුම්වලදී මෙම මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,080යි ග්‍රෑම් 894ක්, කොකේන් කිලෝග්‍රෑම් 256යි ග්‍රෑම් 200ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 590යි ග්‍රෑම් 806ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 56යි ග්‍රෑම් 91ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 667යි ග්‍රෑම් 695ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම මෙහෙයුම් හේතුවෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හැකියාව ලැබී ඇති අතර රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීමට ද හැකියාව ලැබී ඇති බව නාවික හමුදාව පෙන්වා දෙනු ලබයි.

විෂ මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් තවදුරටත් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.