අයියා පිටියේ වීරයා වෙද්දි මල්ලි පිටියෙන් පිටත සුපිරි තරුවක් වෙයි
July 20, 2026 10:38 pm
2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ලමීන් යමාල් පිටිය තුළ කැපී පෙනෙන අවධානයක් දිනා ගන්නා අතරතුර, ඔහුගේ තුන් හැවිරිදි සොහොයුරු කේන් ද පිටියෙන් පිටත සිදුකළ සුරතල් වැඩ නිසා ලොව පුරා රසිකයන්ගේ අවධානය නොඅඩුව දිනා ගත්තේය.
ස්පාඤ්ඤ කණ්ඩායමට ලෝක කුසලාන රන් පදක්කම් පිරිනැමීමෙන් පසු, ලැමීන් යමාල් සිය පදක්කම සිය කුඩා සොහොයුරාගේ කරට දමා තිබේ.
එහිදී 3 හැවිරිදි කේන් එය රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ලෙස සිතා දත්වලින් හපමින් සිටි ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ වී ඇත.
එමෙන්ම ජයග්‍රාහී ස්පාඤ්ඤ කණ්ඩායම නිල ඡායාරූප ලබාගන්නා අවස්ථාවේදී, කේන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පවා මවිතයට පත් කරමින් කුසලානය අසල වාඩි වී, බිම පෙරළෙමින් සහ එහි උඩ කොටස අතගාමින් සිටියේය.
ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් සිය ජයග්‍රහණය අමතක කර මේ කුඩා දරුවාගේ සුරතල් දෙස බලා සිනාසෙන අයුරු දක්නට ලැබුණි.
ලමීන් යමාල් සිය සහෝදරයා වඩාගෙන පිටිය වටා යන අවස්ථාවේදී, කේන් ස්පාඤ්ඤ රසිකයින් දෙසට අත වනමින් ප්‍රතිචාර දක්වා ඇත.
මෙම දර්ශන ඇතුළත් වීඩියෝ පට මිලියන ගණනින් නැරඹුම් වාර ලබා ගනිමින් TikTok සහ Instagram හි ජනප්‍රිය වීමට පටන් ගත්තේය.
රසිකයින් පවසන්නේ ලමීන් පිටිය තුළ සැබෑ වීරයෙක් වන අතරතුර, ඔහුගේ මල්ලි පිටියෙන් පිටත "සුපිරි තරුවක්" වූ බවය.
ඔවුන්ගේ මව වන ෂීලා එබනා ද පිටියට පැමිණ සිටි අතර, ලමීන් යමාල් සිය මල්ලි සහ මව සමඟ කුසලානය මැද තබාගෙන ලබාගත් පවුලේ ඡායාරූපය ද අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් හුවමාරුකරගෙන තිබුණි.
