මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකාව සමඟ සාකච්ඡා තවමත් ක්‍රියාත්මකයි -  ඉරානය

මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකාව සමඟ සාකච්ඡා තවමත් ක්‍රියාත්මකයි -  ඉරානය

July 20, 2026   01:53 pm

අමෙරිකානු මිලිටරි ප්‍රහාර මධ්‍යයේ වුවද, මැදිහත්කරුවන් මාර්ගයෙන් ඔවුන් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනයන් තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බඝෙයි ටෙහෙරාන් නුවර පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ විවිධ මැදිහත්කරුවන් හරහා තමන් වෙත පණිවිඩ සහ අදහස් ලැබී ඇති බවය.

එහි අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් නොකළද, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණය තවමත් සක්‍රීය මට්ටමක පවතින බව ඔහු තහවුරු කළේය.

මෑතකදී දෙරට අතර ඇති වූ යුදකාමී වාතාවරණය සහ හමුදාමය ගැටුම් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, "යුද්ධය හෝ රාජ්‍යතාන්ත්‍රිකභාවය" යනු එකිනෙකට වෙනස් අන්ත දෙකක් නොවන බවය.

ජාතික අවශ්‍යතා දිනාගැනීම වෙනුවෙන් යුද්ධය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනයද මෙවලමක් ලෙස ඉරානය භාවිත කරන බව ඔහු අවධාරණය කළේය.  

කලාපීය වශයෙන් පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, කටාර්, ඕමාන් සහ පාකිස්තානය වැනි රටවල් මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් අමෙරිකාව සහ ඉරානය අතර සාමකාමී එකඟතාවක් ඇති කිරීමට මෙලෙස අඛණ්ඩව උත්සාහ දරමින් සිටියි.