ලක්ෂ ගාණක චීන දුම්වැටි තොගයක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු මාට්ටු

ලක්ෂ ගාණක චීන දුම්වැටි තොගයක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු මාට්ටු

July 19, 2026   03:53 pm

රුපියල් හැත්තෑ නව ලක්ෂ අසූ දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යාමට තැත් කිරීමේදී මෙලෙස අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකි.

අවුරුදැ 26 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුවන් ඉන්දියාවේ හයිද්‍රාබාද් සහ මුම්බායි නුවර පදිංචි එරට ආපනශාලාවක සේවය කරන අය බව සඳහන් වෙයි.

ඔවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය කාම්බෝජයෙන් මිළදීගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ, එතැන් සිට අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 53,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 266ක් සඟවා ඇත.

සැකකරුවන් පොලිස් ඇප මත රට තුළට මුදා හැර ඇති අතර, ඔවුන් එළැඹෙන 21දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .