පොලීසියට පහරදී පලාගිය සැකකරුගේ යතුරුපැදිය සොයාගනී
July 19, 2026 03:27 pm
අද (19) පෙරවරුවේ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහර දී පලාගිය සැකකරුගේ යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඒ පිළියන්දල - මහරගම මාර්ගයේ නිවසක් අසල පිහිටි වත්තක් අසල තිබිය දීය.
අද පෙරවරුවේ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහර දී සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලාගොස් තිබුණි.
එහිදී සැකකරුවන් හඹාගිය පොලිස් නිලධාරින් ඔවුන්ව නැවැත්වීඹට මහත් පරීශ්‍රමයක් දරා ඇති නමුත් ඔවුන් නොනවත්වා ගොස් ඇති අතර එහිදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී යතුරුපැදියේ සිටි පසුපැදිකරුගේ ඉන ප්‍රදේශයට එල්ලවී ඔහු යතුරුපැදියෙන් බිමට වැටී තිබුණි.
පසුව පොලිස් නිලධාරින් පසුපැදිකරු අත්අඩංගුවට ගත් නමුත් පැදිකරු එම ස්ථානයෙන් පලාගොස් ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ.
අද උදෑසන බොරලැස්ගමුව ඕ.පී.පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව්දෙනෙක් නිවැසියන්ට පහරදී නිවසට ද බරපතළ හානි සිදුකර පිළියන්දල දෙසට පලායන බවට බොරලැස්ගමුව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පොලීසිය, පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේ රැකවල්ලා සිටි අවස්ථාවේදී පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස පොලීසිය සිටිනු දැකීම හේතුවෙන් ක්ෂණිකව යතුරුපැදිය හරවාගෙන යෑමට උත්සාහ දරා තිබුණි.
එහිදී යතුරුපැදිය නවත්වාගැනීමට පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දැරීමේදී යතුරුපැදියේ පසුපැදිකරු ඔහු අත වූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී තිබුණි.
එම අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු සහ පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පැදිකරුවන්ගේ පහරකෑමට ලක්වූ නිවසේ තරුණියක්ද මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල හා බොරලැස්ගමුව පොලිස් ස්ථාන එක්ව විමර්ශන ක්‍රියාත්මකයි.
