2027 අවසන් වීමට පෙර ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
July 19, 2026 12:01 pm
2027 වසර අවසන් වීමට පෙර ඩීසල් භාවිතයෙන් විදුලි උත්පාදනය අවම කිරීමට පියවර ගන්නා බව ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම පවසයි.
එහි සභාපති ආචාර්ය ප්‍රදීප් ප්‍රියදර්ශන මහතා පැවසුවේ 2027 වසර අවසානය වන විට මෙගාවෝට් 750ක පමණ විදුලි ධාරිතාවක් බැටරි මගින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බැවින් ඩීසල් භාවිතය අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවය.
අද දෙරණ සිදුකළ විමසීමකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වන විටත් බැටරි මගින් විදුලි උත්පාදනය සඳහා වන බැටරි පද්ධතියට සම්බන්ධ කරමින් පවතින බවත් මේ වන විටත් මෙගාවෝට් 160ක් මෙරටට රැගෙන විත් එම බැටරි සවි කරමින් පවතින බවත්ය.
මීට අමතරව මෙගාවෝට් 250ක් සඳහා පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීම සඳහා ලංසු කැඳවා ඇතැයිද එයද එළැඹෙන වසරේ මාර්තු - අප්‍රේල් අතර කාලයේදී පද්ධතියට සවි කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.
තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මෙගාවෝට් 100ක් විදුලි සම්ප්‍රේශණ සමාගම මගින් සම්පාදනය කිරීම සඳහා ලංසු කැඳවා ඇතැයිද පැවසූ ඒ මහතා මීට අමතරව මෙගාවෝට් 150ක් පොළව මත සවි කරන ලද සූර්ය බලාගාරවලට බැටරි සවි කිරීම සඳහා අවස්ථාව ලබා දීමට ලංසු කැඳවීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
ඔහු පැවසුවේ මේ සියලු කාරණා මත එළැඹෙන 2027 වසර අවසාන වන විට ජාතික විදුලි පද්ධතියට බැටරි මගින් උත්පාදනය වන මෙගාවෝට් 750ක ධාරිතාවයක් එකතු වන බැවින් ඩීසල් භාවිතය අවම කිරීමට හැකියාව ලැබෙන බවය.
තවද 2028-2029 වසරවලදී තවදුරටත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් විදුලිය ජනනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා මේ හා සමගාමීව බැටරි පද්ධතියද සම්බන්ධ කිරීමෙන් දැවි තෙල් භාවිතයෙන් විදුලි උත්පාදනයද අවම කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව රුපියල් බිලියන 30-35ක ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙහි වාසිය මහජනතාවට ලබා දෙමින් විදුලි බිලද අඩු කිරීමට හැකියාව ලැබෙන බවය.
