වසරේ මුල් මාස 6ට වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලින්
July 18, 2026 08:28 pm
වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුවය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයිනේ පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් ඩෙංගු වාහක මදුරු කීටයින් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ පාසල් පරිශ්‍රවලිනි.
පරික්ෂාවට ලක්වූ පාසල් පරිශ්‍ර අතරින් 42.5%ක ඩෙංගු වාහක මදුරු කීටයන් හමුවී ඇත.
එමෙන්ම පරික්ෂා කළ කර්මාන්තශාලා අතරින් 38.4%කත්, රාජ්‍ය ආයතන පරිශ්‍ර 28.1%ත්, ආගමික ස්ථාන 25.9%කත් සහ පිරික්සූ නිවාස අතරින් 9.2%කත් මදුරු කීටයින් සොයාගැනුණි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව ඊයේ (17) වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478කි.
ඒ අතර ජුලි මාසයේ ගෙවුණු දින 17 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,100කි.
තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර ඉන් 15,596ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර ඩෙංගු ව්‍යාප්තියේ බරපතළකම තවදුරටත් පෙන්වමින් ගතවූ දිනය තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ඩෙංගු මරණ ගණන 53 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ගතවූ පැය 24 තුළ මරණ 3ක් වාර්තා වීමත් සමගිනි.
