ලක්ෂ ගණනක ස්මාර්ට් ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු
July 18, 2026 10:50 am
ජංගම දුරකතන අලෙවිසැළක ඉදිරිපස වීදුරුව බිඳදමා රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සහ මුදල් සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ පිරිවෙන් සිසුන් දෙදෙනෙකු එප්පාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් ඊයේ (17) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉකුත් 4 වැනිදා අලුයම එප්පාවල නගරයේ බස් නැවතුම්පොළ අසල තිබූ දුරකතන අලෙවිසැලකින් මෙම සොරකර සිදුකර ඇති බවය.
සැකකරුවන් එප්පාවල, ඇඳගල, ප්‍රෙද්ශයේ පිරිවවෙනක නේවාසිකව අධ්‍යාපනය හදාරන වයස අවුරුදු 14ක් වන, තලාව නබඩවැව සහ එප්පාවල රොටවැව ප්‍රදේශවල පදිංචි පිරිවෙන් සිසුන් දෙදෙනෙකු බව සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු අදාළ දුරකතනවල EMI අංක හා දුරකතන සංඥා ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
සොරකම සිදුවන අවස්ථාවේ වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරා දර්ශන මෙන්ම තඹුත්තේගම පොලිස් කොට්ඨාශයේ නිල සුනඛ'ජොනී' ඇතුළු නිලධාරීන්ගේ සහ ඇඟිලි සලකුණු අංශයේ සහය ඇතිව සිදුකල විමර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 06ක් සහ රුපියල් 5000ක මුදලක් සොයාගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාර සිසුවෙකු දින කිහිපයකට ප්‍රථම අදාළ වෙළඳසැලට පැමිණ, නවීන ජංගම දුරකථනයක කිහිපයක මිළ ගණන් විමසා ඇති බවය.
පසුව ජංගම දුරකථනයක් මිලදීගෙන දෙන ලෙස සිය පියාගෙන් ඉල්ලා ඇති අතර, පියා ඊට අකමැත්ත පල කර ඇති බව සඳහන් වේ.
ඉන් කෝපයට පත් මෙම සිසුවා තවත් මිතුරෙකු සමග පැමිණ ජංගම දුරකතන සොරාගෙන ඇත.
පසුව සොරාගත් ජංගම දුරකතන වලින් දුරකතන දෙකක් තම පාවිච්චියට තබා ගෙන, අනෙක් නවීන ජංගම දුරකථන පිරිවෙනේ හිමිනමකට හා පියාට මෙන්ම තවත් සිසුන් කීපදෙනෙකුට ලබා දී ඇත.
අනතුරුව මෙම සිසුන් විසින් සොරාගත් ජංගම දුරකතනයකට විහාරස්ථානයේ හිමිනමකට අයත් සිම්පතක් යොදා භාවිත කර ඇති බව ඇති බව සඳහන් වේ.
ඒ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.
මොවුන් ජංගම දුරකතන භාවිතාකර ඔන්ලයින් ක්‍රීඩාවක් සිදුකර ඇති අතර, එම ක්‍රීඩාවට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර බාලවයස්කරුවන් දෙදෙනා සහ සොරාගත් ජංගම දුරකතන අද (18) දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
