අඛණ්ඩව 6 වැනි දිනටත් අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර

අඛණ්ඩව 6 වැනි දිනටත් අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර

July 17, 2026   10:17 pm

හෝමුස් සමුද්‍රසන්ධිය ආසන්නයේ ඉරානය පවත්වාගෙන යන අවි ශක්තිය මර්දනය කිරීමේ අරමුණින් යුතුව අඛණ්ඩ හය වැනි දිනටත් අමෙරිකාව දකුණු ඉරානයේ නගර රැසකට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

එහිදී අතරතුර සිවිල් වැසියන් ජීවත්වන ස්ථාන ඉලක්ක වී ඇති බව ඉරානය චෝදනා කරයි.

ඉරාන වාර්තාවලට අනුව ප්‍රහාරවලින් හෝර්මෝස්ගන් කලාපයේ පාලම් 5ක් විනාශ වී තිබේ.

තවද දකුණු ඉරානයේ විදුලි සැපයුම් මධ්‍යස්ථානයක් ද ප්‍රහාරයට ලක්ව ඇති අතර, උද්ගතව ඇති අවදානම සලකා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉරානයේ පාලම් සහ විදුලි සැපයුම් ඉලක්ක කරගෙන ලබන සතියේ සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තර්ජනාත්මකව ප්‍රකාශ කළේය.

මෙවන් පසුබිමක ඉරාන විදෙස් ඇමති අබ්බාස් අරාචි චෝදනා කරන්නේ සිවිල් යටිතළ පහසුකම් වෙත පහරදීම තුළින් අමෙරිකාව ඉරානය තුළ යුද අපරාධ කරමින් සිටින බවය.

1949 දී අත්සන් තැබූ ජිනීවා සම්මුතියට අනුව සිවිල් ඉලක්ක වෙත පහරදීම යුද අපරාධයක් වේ.

ඒ අතර ඉරානය ද අසල්වැසි රටවල අමෙරිකානු ඉලක්ක වෙත පහරදෙමින් සිටින අතර, එවන් එක් ප්‍රහාරයකින් කුවේට් හි ඇති වූ ගින්නක් ද ඇති විය.

මේ අතර යේමනයට ඔබ්බෙන් ඒඩන් බොක්කේ යාත්‍රා කරමින් පැවති නෞකාවක් සිය භාරයට ගැනීමට අවිගත් කල්ලියක් සමත්ව තිබේ.

රසායනික ද්‍රව්‍ය රැගත් එම නෞකාව සෝමාලියාව බලා යාත්‍රා කරමින් පැවති බව වාර්තා වේ.

යේමනයේ හූති කැරලිකරුවන් යොදවා රතු මුහුදේ නාවික ප්‍රවාහනය අත්හිටුවීම සම්බන්ධව ඉරානය සලකා බලමින් ඇතැයි වාර්තා පළවන පසුබිමක මෙම පුවත අනාවරණ වී තිබුණි.