අත්බෝම්බ 02ක් සහ ජීව පතරොම් සමඟ පුද්ගලයෙකු යක්කලදී අත්අඩංගුවට

අත්බෝම්බ 02ක් සහ ජීව පතරොම් සමඟ පුද්ගලයෙකු යක්කලදී අත්අඩංගුවට

July 17, 2026   07:27 am

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සහ විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් සමඟ සැකකරුවෙකු යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (16) රාත්‍රියේ යක්කල පොලිස් වසමේදී සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

වැටලීමේදී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක්, පිස්තෝල පතරොම් 32ක්, එම්-16 වර්ගයේ ගිනිඅවියක් සඳහා භාවිත කරන පතරොම් ගැබක් සහ එම පතරොම් 11ක් මෙන්ම රිවෝල්වර් පතරොම් 06ක් පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 34,000ක් ද සැකකරු සන්තකයේදී තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.