සලේගේ පෙත්සමට කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක් - සම්පූර්ණ විස්තරය
July 16, 2026 07:40 pm
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
කාදිනල්තුමන් කියා සිටින්නේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ නඩුකරය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ස්වාධීනභාවය මෙන්ම ඵලදායීතාවයට බලපෑමක් සිදුවිය හැකි බැවින් වින්දිතයයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ඊට මැදිහත්වීමට අධිකරණයේ අවසරය ඉල්ලා සිටින බවය.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ "අසාද් මවුලානා" නමැති පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය සහ ඊට පෙත්සම්කාර සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් ඒ පිළිබඳ විමර්ශනය සිදුකිරීම අවශ්‍ය බවත් කාදිනල්තුමා එමඟින් පවසයි.
මෙම තත්ත්වය යටතේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉල්ලා සිටින සහනය අධිකරණය විසින් ප්‍රදානය කළහොත් ඉන් අගතියට පත්වූවන්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් සිදුවිය හැකි බව පෙත්සමේ සඳහන්ය.
ඒ අනුව පෙත්සම්කාර සුරේෂ් සලේ මහතාගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් එම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් කාදිනල්තුමන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
