අර්ච්චුනා, කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යකා නටයි
July 16, 2026 02:30 pm
කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ.
ඒ, මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වූ සිටි රාජ්‍ය නිලධාරින් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදීය.
එහිදී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියා කලාප සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වදන් භාවිත කරමින් විවේචනය කළ බව සඳහන්ය.
ඒ සමඟ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් ඉන් ඉවත්ව යාමට උත්සහ කළහ.
එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත.
කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් රැස්වීමෙන් ඉවත්ව යාමත් සමඟ ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනයවීමට ගිය ද පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණි.
කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16) පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
ඒ, කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ රාමනාදන් අර්ජුනා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පසුගිය 2025 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිරුවයියාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද උඳු , කවුපි, කුරහන් ඇතුළු ධ්‍යාන්‍ය වගාවන් සහ රටකජු නිෂ්පාදන සංවර්ධන ව්‍යාපෘතිය අත්හැර දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් ප්‍රශ්න කරනු ලැබීය.
එමෙන්ම, කරච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇළ රක්ෂිත ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගෙන, තම නිවසට යන මාර්ගය සඳහා රුපියල් මිලියන 3.5 ක රාජ්‍ය ප්‍රතිපාදන යොදවා පාලමක් ඉදිකර ඇති බවත්, මීට නිලධාරීන් සහය දී ඇති සිදුවීමක් සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරිණි.
දිස්ත්‍රික්කයේ සිදුවන දූෂණ ක්‍රියාවලට උසස් නිලධාරීන්ද හවුල් වී ඇති බවට රැස්වීමට සහභාගී වූ රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ නොසන්සුන්තාවක් හටගත්තේය.
පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර, රැස්වීමද තාවකාලිකව කල් තැබීමට කටයුතු කෙරිණි.
