බාල ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දිනදෙයි

බාල ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දිනදෙයි

July 15, 2026   04:19 pm

බාල ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන අගෝස්තු මස 24 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම, අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින්, බාල ගල්අඟුරු හේතුවෙන් කිසියම් පාඩුවක් සිදුවී තිබේ නම් එය අයකර ගැනීමට නිසි පියවර ගන්නා බවත්, එහි බර මහජනතාව මත පැටවීමට රජය ක්‍රියා නොකරන බවත් ප්‍රකාශ කළේය.

වැඩිදුර ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ඔහු අධිකරණයෙන් දිනයක්ද ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ඉල්ලා සිටියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම අගෝස්තු 24 වනදා කැඳවීමට නියෝග කළේය.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, එන්.එස්. ඕ සමාගම සහ මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

බාල ගල්අඟුරු ආනයනය නිසා රජයට රුපියල් බිලියන 20කට අධික පාඩුවක් සිදුවී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාවක සඳහන් වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

විදුලි බිල ඉහළ දැමීම සහ බදු පැටවීම හරහා රජය එම පාඩුව මහජනතාවගෙන් පියවා ගැනීමට උත්සාහ කරන බැවින්, එය වළක්වාලන ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මීට අමතරව, ඉකුත් මැයි මස 09 වනදා විදුලි ගාස්තු ඉහළ නැංවීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසත්, මෙම පාඩුව ඊට වගකිවයුතු දේශපාලන අධිකාරියෙන්, නිලධාරීන්ගෙන් සහ අදාළ සමාගමෙන් අයකර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.