සේවක හිඟය සහ අතිකාල ගැටලු නිසා උප දුම්රිය ස්ථාන 03ක් වසා දමයි

සේවක හිඟය සහ අතිකාල ගැටලු නිසා උප දුම්රිය ස්ථාන 03ක් වසා දමයි

July 15, 2026   03:16 pm

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය සහ මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (14) දින සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මීට හේතු වී ඇත.

මීට අමතරව, අධික මගී ජනතාවක් පරිහරණය කරන මුහුදුබඩ මාර්ගයේ ආඳදොල උප දුම්රිය ස්ථානය මාස 11ක කාලයක සිටත්, අකුරළ උප දුම්රිය ස්ථානය මාස 09ක කාලයක සිටත් වසා දමා තිබේ.

මෙම දුම්රිය ස්ථාන වසා දැමීම හේතුවෙන් මගීන්ට ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ලබා ගැනීමට මෙන්ම දුම්රිය ප්‍රමාදයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ද නොහැකි වී ඇත. 

දුම්රිය මෙම ස්ථානවල නතර කළද, මගීන්ට සිදුවන්නේ වෙනත් දුම්රිය ස්ථානයකින් ප්‍රවේශපත් ලබා ගැනීමටය. තවද, රාත්‍රී කාලයේදී මෙම ස්ථානවල විදුලි ආලෝකය නොමැති වීමෙන් මගීහු තවදුරටත් දුෂ්කරතාවන්ට මුහුණ දෙති.

නීත්‍යනුකූල ක්‍රමවේදයන්ට අනුව සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා මෙම ස්ථාන විවෘතව තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව පැවතියද, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් සේවක අතිකාල දීමනා කප්පාදු කිරීමට සැලසුම් කිරීම හේතුවෙන් එලෙස සහන සේවකයන් යෙදවීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.