සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී කරුණු රැසක් හෙළිවෙයි
July 14, 2026 09:01 pm
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ යලි සලකා බැලුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනක් ද සිල්වා කොමිසමේ වාර්තාවලට අනුව සහරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් මහනුවර ඇසළ පෙරහරට පහරදීමේ ප්‍රයත්නයක් තිබූ බවට සාක්ෂි අනාවරණය වී තිබුණා. මුලින්ම ඔවුන් සැලසුම් කරල තිබුණේ කතෝලික පල්ලිවලට පහර දෙන්න නෙවෙයි. නුවර පෙරහැරට පහර දීලා සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති කරන්න. නමුත් මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම් වනාතවිල්ලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායමේ ආරක්ෂිත කඳවුරක් වටලනු ලැබුවා. එම කඳවුර වැටලීමත් සමගම සහරාන් හෂීම් තේරුම් ගත්තා තමන්ගේ සැලසුම් සියල්ල රජයේ ආරක්ෂක අංශ අතට පත් වී තිබෙන බවට. ඒ අනුව ඔහු තමන්ගේ ප්‍රහාරය ඉක්මන් කිරීමට තීන්දු කරනවා. ඒ අනුව තමයි පාස්කු ප්‍රහාරය එල්ල කරන්න ඔවුන් තීරණය කරන්නේ. " යනුවෙන් පැවසුවේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "2019 වසරේ ජනවාරි මස 25 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා කාල සීමාව තුළ සහරාන් හශීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් සිදුකළ අන්තවාදී ක්‍රියා සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. පොලිස්පතිවරයා වෙත යැවූ එම ලිපිවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාටත් යොමු කර තිබුණා. 2019 වසරේ ජනවාරි මස 25 වනදා, මාර්තු මස 01 වනදා, මාර්තු මස 21 වනදා නිලන්ත ජයවර්ධන මහතා විසින් යැවූ වාර්තා තුළින් සහරාන් හශීම් අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සූදානම් වන ආකාරය සහ ඔහු විසින් සිදුකළ අයි.එස්.අයි.එස්. සංවිධානයේ මතවාදයන් සම්බන්ධයෙන් පළ කරනු ලැබූ අදහස් පිළිබඳව වාර්තා යොමු කර තිබුණා. 2019 වසරේ මාර්තු මස 30 වනදා නිකුත් කළ වාර්තාවක් මගින් සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් සැඟවී සිටි ස්ථාන පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් නිලන්ත ජයවර්ධන මහතා විසින් යොමු කර තිබුණා. 2019 වසරේ අප්‍රෙල් මස 09 වනදා නිකුත් කළ වාර්තාවක් මගින් සහාරාන් හෂීන් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව දැනුම් දී තිබුණා. 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා නිකුත් කළ වාර්තාවක් මගින් සහරාන් හශීම් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සැඟවී සිටින ස්ථාන පිළිබඳව තොරතුරු ලබා දී තිබුණා. මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ රවී සෙනෙවිරත්න. අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ ශානි අබේසේකර. සහරාන් හශීම් ඇතුළු අනුගාමිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ තරම් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර ගත් පියවර කුමක්ද? මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළ පුද්ගලයින් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ කොහොමද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "වනාන්තවිල්ලුව ප්‍රදේශයේ සහරාන් හෂිම්ගේ කණ්ඩායමේ කඳවුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් එම විමර්ශනය භාරව කටයුතු කළ පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා වන මාරසිංහ මහතා ජනක් ද සිල්වා කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබුණා. එම ප්‍රකාශයට අනුව මෙම විමර්ශනය සඳහා ශානි අබේසේකර විසින් අනුයුක්ත කර තිබුණේ නිලධාරීන් පස් දෙනෙකු පමණයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් හත්සීයයක් පමණ සේවය කරනවා. එහෙත් මේ බැරෑරුම් විමර්ශනය සඳහා යෙදවුණේ නිලධාරින් පස් දෙනෙකු පමණයි. මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණා. මේ සිද්ධිය පිටුපස ජාත්‍යන්තර අන්තවාදී සංවිධානයක සම්බන්ධයක් පවතින බවට. ඒ නිසා ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන විමර්ශන සිදු කරන ලෙස පරීක්ෂණ කළ නිලධාරීන් ඉල්ලීමක් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නෑ. ඒවා බැහැර කරමින් ඔහු නොසැලකිල්ලෙන් කටයුතු කළා. පොලිස් පරීක්ෂක මාරසිංහ ජනක් ද සිල්වා කොමිසමට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ඇමරිකාවේ එෆ්. බී. අයි සංවිධානය, ඕස්ට්‍රේලියානු රහස් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය, සහ ඉන්දියානු පරීක්ෂණ කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන සිදුකර තිබෙන බවට. එහෙත් කොමිසම මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම මාරසිංහ නමැති නිලධාරියා කියා තිබුණේ එම විදේශීය පරීක්ෂණ අංශ විසින් සිදු කළ පරීක්ෂණවල වාර්තා තමන්ට නොලැබුණු බවට. ඒ කටයුතු සිදු වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති මට්ටමින්. ඒ වාර්තා මට ලැබුණේ නෑ. යනුවෙන් මාරසිංහ නමැති නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. මේ පරීක්ෂණ වාර්තා ඇයි අදාළ පරීක්ෂණ සිදු කළ නිලධාරීන්ට විමර්ශන සිදුකිරීම සඳහා භාර නොදුන්නේ? ඒ පරීක්ෂණ වාර්තාවල මොනවද තිබුණේ? මෙය බරපතළ ප්‍රශ්නයක්" බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි සංවිධානයේ විමර්ශකයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සිදු කළා. ඉන්පසුව මොහොමඩ් නව්ෆර් ඇතුළු පිරිසකට විරුද්ධව එරට අධිකරණයේදී නඩු පවරනු ලැබුවා. එම නඩුවට අදාළව එෆ්.බී.අයි. සංවිධානයේ විමර්ශන නිලධාරියකු දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ලබාදී තිබුණා. එම දිව්රුම් ප්‍රකාශයේ පැහැදිළිවම සඳහන් කර තිබෙනවා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු "සහරාන් හෂිම්" බවට. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි නමැති නිලධාරියකුත් මීට අදාළව ප්‍රකාශයක් ලබාදීලා තිබෙනවා. ඔහු එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බුද්ධි වාර්තා කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන්ගෙන් තමන්ට නොලැබුණු බවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පසුගියදා ප්‍රංශයට ගොස් එහි සිටින අසාද් මවුලානා නමැත්තා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. අසාත් මවුලානා කියන්නේ අපරාධ රාශියකට සම්බන්ධ වරෙන්තු ලබා සිටින පුද්ගලයෙක්. මේ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ආපසු හිස් අතින් පැමිණ තිබෙනවා."යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සහරාන් හෂීම් ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම පැහැර හරිනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු වර්තමානයේ මෙම විමර්ශනය භාරව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කළ අතර එදින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතය.
අද දින පෙත්සම් විභාගය අවසානයේදී නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් අටක් ඉදිරිපත් වී තිබෙන බවත් එම පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවත් සඳහන් කළාය.
ඒ අනුව අධිකරණය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ එම විරෝධතාව සටහන් කර ගැනීමද සිදුවිය.
