මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට තාවකාලික ස්ථාන මාරුවක්
July 14, 2026 07:34 pm
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා මේ බව සඳහන් කළේය
පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියේදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ අවසන් ලී දොරටුව ද කඩා පිටතය ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික වමර්ශන වලදී හෙළි වී ඇත්තේ බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර නිලධාරීන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සහ අදාළ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අදාළ නිලධාරියා විසින් ගිනි අවිය භාවිත කර ඇති බවත්ය.
මෙම වෙඩි තැබීම බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව සිදු වූවක් ද යන්න සහ බලය ඉක්මවා යෑමක් සිදුව තිබේද යන්න සෙවීම සඳහා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම බිහිසුණු ගැටුමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
