පාර්ලිමේන්තුව ජූලි 21 සිට 24 දක්වා රැස් වෙයි
July 14, 2026 04:15 pm
ජූලි 21 සිට 24 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ අනුව එම පාර්ලිමේන්තු සතියේ කටයුතු පසුගිය ජූලි 10 වැනිදා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
ජූලි 21 අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනා දෙකක් විවාදයට ගෙන අනුමත කිරීම සඳහා වෙන් කර ඇත. ඉන් එක් යෝජනාවක් විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදු කළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙනි.
අනෙක් යෝජනාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමයි.
එදින පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතය.
ජූලි 22 බදාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා දිනයේ වැඩි කාලයක් වෙන් කර ඇති අතර, ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.
ජූලි 23 බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ජූලි 24 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනෙන අතර, දිනය අවසානයේ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතය.
