සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්

සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්

July 14, 2026   03:51 pm

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය නවීකරණය කරමින් එය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා වූ "ජාතික ඩිජිටල් ද්වාරය" (National Digital Portal) අද (14) නිල වශයෙන් ජනගත කෙරිණි.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය පවත්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අවධාරණය කළේ, මෙම ඩිජිටල් ද්වාරය හුදෙක් තාක්ෂණික ව්‍යාපෘතියක් පමණක් නොවන බවය. 

එය සමූපකාර ක්ෂේත්‍රයේ විනිවිදභාවය ශක්තිමත් කරමින්, ජනතා විශ්වාසය ඉහළ නැංවීම සඳහා ආරම්භ කළ ජාතික වැඩපිළිවෙළක පළමු පියවර බව හෙතෙම කියා සිටියේය.

"මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරෙන්නේ 'සාමකාමී ලෝකයක් සඳහා සමූපකාර' යන තේමාව යටතේයි. එම තේමාවට අනුකූලව ජනතාව එකිනෙකා සම්බන්ධ කරන, ආර්ථිකය ශක්තිමත් කරන ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීම අපේ අරමුණයි."

ශ්‍රී ලංකාවේ විශාලතම ජනතා ව්‍යාපාරයක් වන සමූපකාර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

2017 දත්ත අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමූපකාර සංවිධාන 14,000කට අධික සංඛ්‍යාවක් පවතින අතර, එයින් 8,963 ක් ක්‍රියාකාරීව පවතින බවත්, සාමාජික සංඛ්‍යාව මිලියන 8.7කට ආසන්න වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

එමෙන්ම සමූපකාර ක්ෂේත්‍රය තුළ 39,000කට අධික පිරිසකට රැකියා අවස්ථා සපයන අතර, කාන්තාවන්ගේ දායකත්වයද සැලකිය යුතු මට්ටමක පවතින බවද ඔහු කියා සිටියේය.

මෙතරම් විශාල සාමාජික පිරිසක් සිටියද, මෙතෙක් කල් ඒකාබද්ධ යාවත්කාලීන ඩිජිටල් දත්ත පද්ධතියක් නොතිබීම ප්‍රධාන අභියෝගයක්ව තිබූ බවත්, අද දින දියත් කළ පද්ධතිය මඟින් රට පුරා සිටින සාමාජිකයන්ගේ තොරතුරු ආරක්ෂිතව හා විධිමත්ව එක් ජාතික දත්ත පද්ධතියකට ඇතුළත් වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එහිදී ඩිජිටල් සාමාජික අනන්‍යතා (Digital ID) සහ මාර්ගගත (Online) සේවා, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද සහ ඩිජිටල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම්, සමූපකාර බැංකු පද්ධතිය ඒකාබද්ධ කරමින් "ජාතික සමූපකාර දත්ත වේදිකාව" (National Co-operative Data Platform) නිර්මාණය කිරීම, තරුණ පරපුර සමූපකාර ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීම, කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සහ ග්‍රාමීය නිෂ්පාදන සඳහා ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කරමින් සමූපකාර ව්‍යාපාරය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන ලෙස නවීකරණය කිරීම රජයේ අවසාන ඉලක්කය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.