ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි

ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි

July 14, 2026   03:20 pm

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සඳහා කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ගැටලුව වී ඇත්තේ ඡන්ද ක්‍රමය බවත් නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කළ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවය.

මින් පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්වා ආපදාවන් සඳහා වියදම් කළ බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ දිට්වා සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කළ බවය.

එම බිලියන 500න් මේ වන විට රුපියල් බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් දිට්වා සඳහා වෙන් කළ මුදල් තවත් ඉතිරිව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීම මෙම දිට්ටා ආපදාව බල නොපාන බව පැවසූ අමාත්‍යවරයා මෙරට හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය. 

"සල්ලි ප්‍රශ්නයක් නෙමයි තියෙන්නේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර දීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොමත් සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකට අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මුදල් නැත්නම් පරිපූරක ඇස්තමේන්තුවෙන් හරි මුදල් ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මුදල් ප්‍රශ්නයක් නෑ අනිත් එක දිට්වාවලට අපි වෙන් කළා බිලියන 500ක් ඡන්දෙකට එච්චර යන්නේ නෑ. ඡන්දෙකට එච්චර යන්නේ නෑ.  ඉස්සර නම් වෙන් කළේ බිලියන 6ක් විතර පස්සේ ඒක 10 කළා උපරිම බිලියන 15ක් වගේ යනකොට ඡන්දේ තියන්න පුළුවන්. බිලියන 500ක් වෙන් කරලා දැන් එකේ බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් දිට්වාවලට වියදම් කරලාත් ඉවරයි. සල්ලි ප්‍රශ්නයක් නෑ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කරලා දුන්නොත් ඡන්දය ඕනෑම මොහොතක පවත්වන් අපි සූදානම්."