මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි සොයයි

මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි සොයයි

July 14, 2026   10:55 am

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද යන්න පිළිබඳව දැන් විමර්ශන සිදුකෙරෙමින් ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව පැවැති සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරෙන නව බන්ධනාගාරය සහ ගාල්ල, මහමෝදර පැරණි රෝහල නව බන්ධනාගාරයක් බවට පත් කිරීමට රජය තීරණ කළේ මාස කිහිපයක් සඳහා පමණක් බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මෙහිදී සඳහන් කළේය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ බන්ධනාගාර තදබදයට රජයේ විසඳුම් ලැබීමෙන් පසු එම බන්ධනාගාර දෙකම ඉවත් කෙරෙන බවය.

"මීගමුව බන්ධනාගාරයේ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද කියලා දැන් විමර්ශන සිදුකෙරෙනවා. ඒ විමර්ශනවල ප්‍රගතිය අනුව තමයි අපිට නිශ්චිතව කියන්න පුළුවන්."

"බන්ධනාගාරවල අධික තදබදය කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. ඒක ඇතුළේ ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා. නඩු අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම, වාර්තා නොලැබීම, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වැඩිවීම බන්ධනාගාර තදබදය වැඩි වෙන්න බලපා තියෙනවා.

"ගාල්ල මහමෝදර පැරණි රෝහල, මහනුවර බෝගම්බර බන්ධනාගාරය යන දෙකම අපි බන්ධනාගාර විදියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන ඒවා නෙමෙයි. අපිට වෙනම සැලැස්මවල් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ ක්ෂණික පියවරක් ලෙස මාස කිහිපයක් සඳහා තමයි ඒ පියවර ගත්තේ."

"මාස කිහිපයක් සඳහා පමණයි ඔය තැන්වල බන්ධනාගාර පවත්වාගෙන යන්නේ.විසඳුම් එනකොට ඔය බන්ධනාගාර දෙකම අයින් වෙනවා."

මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉකුත් 8 වනදා නිකුත් කර තිබුණි. 

ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයද ඉකුත් 7 වනදා නිකුත් කෙරුණි.