මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අදින් ඇරඹේ

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අදින් ඇරඹේ

July 14, 2026   07:22 am

‍මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අද (14) සිට ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

'විකසිත වන ළමා ලොවට - හිරු කිරණකි සතුට පවුල' යන තේමාව යටතේ අද සිට ලබන 20 වන දින දක්වා මෙම ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශාරීරික, මනෝ-සමාජීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් මුළු දිවයින පුරාම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සදහන් කර සිටියාය.

එමෙන්ම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව දැනුමැති ප්‍රජාවක් ඇති කිරීම සහ ඊට අදාළ ගුණාත්මක සේවාවන් ලබාගැනීමේ වැදගත්කම සමාජයට පැහැදිලි කර දීම මෙම වැඩසටනෙහි ප්‍රධාන අරමුණක් වන බවද ඇය වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය,

"ශාරීරික, මනෝ-සමාජීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සඳහා වැඩසටහන් 14 වනදා සිට 20 වනදා දක්වා වූ සතිය තුළ ක්‍රියාත්මක වෙනවා.'විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සොඳුරු පවුල' කියන තේමාව පදනම් කරගෙන අපි මෙන්න මේ මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳව ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙනවා.

මේකෙදි අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු අතර, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව දැනුමැති ප්‍රජාවක් ඇති කිරීම. ඒ වගේම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධිත ගුණාත්මක සේවාවන් ලබාගැනීමේ අවශ්‍යතාවය හා වැදගත්කම සැලකිල්ලට ලක් කරන්න ඕනේ. විශේෂයෙන්ම දෙමාපියන්ට, ප්‍රජාවට අපි දැනුවත් කරන්න ඕනේ 'ඔබේ දරුවා වෙනුවෙන් ඔබ අවදි වන්න' කියන එක."