ඉල්ලීම් ලැබුණොත් විශ්‍රාම වයස වෙනස් කරන්න රජය සැරසෙයි
July 13, 2026 08:10 am
විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවත් මෙම ඉල්ලීම් සම්බන්ධව රජය සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊයේ (12) පැවැති මීරිගම රෝහලේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ විවිධ වෘත්තිකයින් විසින් මේ සම්බන්ධව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව මෙම ඉල්ලීම් සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"දැනටමත් විවිද වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා. අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහාධිකරණයේ පමණක් නෙමෙයි සෞඛ්‍ය සේවාවේ සමහර වෘත්තිකයින්ගෙන් ඉල්ලීම් ඇවිත් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් තිබෙනවා. තවත් වෘත්තිකයින්ගේ මේ විශ්‍රාම යන වයස වැඩි කරගන්න ඔවුන්ට තව කාලයක් වැඩ කරන්න පුළුවන් කියලා අදහසක් ඇවිත් තිබෙනවා. සමහරුන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් රජයක් ලෙස ඒ ඉල්ලීම් සලකා බලමින් තිබෙනවා"
