මීරිගම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට
July 12, 2026 10:08 pm
ශ්‍රී ලංකාවේ වකුගඩු ආශ්රිත ගල් රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ට සෙත සැලසීම සහ දැනට පවතින 5,000කට අධික ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම අරමුණු කරගනිමින් අලුතින්ම ස්ථාපිත කරන ලද “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” අද (12) ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම මූලික රෝහල් පරිශ්‍රයේදී විවෘත විය.
වසර 20ක් තිස්සේ ප්‍රදේශයට අඩුවක්ව පැවති මෙම ජාතික අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් සහ අමාත්‍යවරයාගේ උපදෙස් මත මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කිරීමට හැකිව තිබේ.
දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍ය ඒකක 30කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ශල්‍යාගාර හිඟකම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගීන් විශාල වශයෙන් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදු විය.
ජාතික මට්ටමේ ප්‍රායෝගික විසඳුමක් ලෙස ඉදිවූ මෙම නව මධ්‍යස්ථානය මඟින්, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන රජයේ විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන් හට සිය රෝගීන් මෙහි රැගෙන විත් නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව සැලසේ.
මෙහිදී උත්සවය ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි සැලසුමකින් තොරව ඉදිකිරීම් කිරීම නිසා භාවිතයට නොගෙන පවතින ගොඩනැගිලි සහ උපකරණ රාශියක් පවතින බවය.
"අපි උපකරණ ලබාගන්න උනන්දු වුණත්, ඒකෙන් උපරිම ධාරිතාවෙන් සේවාවක් ගන්නේ නැහැ. පවතින ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත නිසි කළමනාකරණයකින් යුතුව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. නීති සහ ප්රඥප්තිවලට මුවා වෙලා සේවා පවත්වාගෙන ගියාට ජනතාවට ප්රතිලාභ ලැබෙන්නේ නැහැ. මීරිගම මධ්‍යස්ථානය කියන්නේ පාර්ශ්ව රැසක් එකතු වෙලා වැඩ කළොත් රටක් විදිහට ජයග්‍රහණ අත්කරගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක්," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
